දෙවන කාර්තුවේ අරමුදල් පදනම් කරගත් මෙහෙයුම් තුළින් ලද වර්ධනය ඇසුරෙන් කොමර්ෂල් බැංකුව 2015 වසරේ මුල් මාස හය තුළ කාර්ය සාධනයෙහි ශක්‌තිමත් වර්ධනයක් වාර්තා කර ඇති අතර 2015 ජුනි 30 වන දිනෙන් අවසන් මාස හය තුළ දී රුපියල් බිලියන 7.443 ක බදුවලට පෙර ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදය සමඟ සැසදීමේදී 14.97% ක වර්ධනයකි.
2015 ජූනි 30 වන දිනෙන් අවසන් මාස 6 තුළ දී බැංකුව ලද රුපියල් බිලියන 37.017 ක දළ ආදායම මත එම කාලය තුළදී රුපියල් බිලියන 5.168 ක බදුවලට පසු ලාභයක් වාර්තා කරන ලද අතර එය 15.38% ක කැපී පෙනෙන වර්ධනයකි.
කොමර්ෂල් බැංකුවේ දෙවන කාර්තුවේ දර්ශක (2015 අප්‍රේල්-ජුනි) පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේද සමඟ සැසඳීමේදී ශක්‌තිමත් වර්ධනයක් පෙන්වා තිබෙන අතර මෙම මාස තුනේ බදුවලට පෙර ලාභය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්‌ෂව 21.37% ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 3.864 ක් ලෙස වාර්තා වූ අතර බදුවලට පසු ලාභය 20.85% ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 2.659 ක් ලෙස වාර්තා වී තිබේ.
සළකා බලන කාල පරිච්ඡේදය තුළදී බැංකුවේ පොලී ආදායම 2.59% ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 31.788 ක් ලෙස වාර්තා වී තිබෙන අතර අදාළ කාලයේදී පොලී වියදම 1.62% ක පහළ යාමක් සමගින් රුපියල් බිලියන 17.021 ක් ලෙස වාර්තා විය. මේ අනුව, මෙම කාලපරිච්ඡේදයේදී බැංකුවේ ශුද්ධ පොලී ආදායම පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්‌ෂව 7.91% ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 14.768 ක් ලෙස වාර්තා වී ඇත.
මීට අමතරව, 2015 දෙවන කාර්තුවේ බැංකුවේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 7.535 ක් දක්‌වා 5.92% කින් 2014 දෙවන කාර්තුවට සාපේක්‌ෂව වර්ධනය වී ඇත.
ශුද්ධ වෙන් කිරීම්වලට පසු මෙම මාස හයක කාල සීමාව තුළදී බැංකුවේ ණය කළඹ රුපියල් බිලියන 14.499 ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 512.116 ක් ලෙස වාර්තා වී තිබෙන අතර එය පසුගිය මාස 12 ක කාල සීමාවක් සඳහා රුපියල් බිලියන 73.906 ක නැතහොත් 16.87% ක වර්ධනයකි.
2014 දෙසැම්බර් මාසයේ සිට ගනුදෙනුකරුවන් විසින් සිදු කළ තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 39.721 ක් හෙවත් 7.5% ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 569.082 ක් දක්‌වා කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර එය සලකා බලන කාල සීමාව තුළදී එක් මාසයක් තුළදී රුපියල් බිලියන 6.6 ක සාමාන්‍ය තැන්පතු වර්ධනයකිs. තවද, පසු ගිය මාස 12 තුළ තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 81.483 කින් හෙවත් 16.71% කින් වර්ධනය වී ඇත.
2015 ජුනි 30 වැනිදායින් අවසන් වන මාස හය තුළදී බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 18.231 ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 813.841 ක් දක්‌වා වර්ධනය වී තිබේ. පසු ගිය මාස 12 ක කාලය තුළදී මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 130.261 කින් හෙවත් 19.06 කින් වර්ධනය වී තිබීම කැපී පෙනේ.z
"ශ්‍රී ලංකාවේ ඉතිරි කිරීමේ ක්‌ෂේත්‍රයේ ශක්‌තිමත් ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව අඛණ්‌ඩව ක්‍රියාකර තිබෙන අතරම බැංකුව මෙරට විශාලතම ණය දෙන ආයතනයක් වෙනවා" යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්‌වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා සඳහන් කළේය. "ගාස්‌තු පදනම් කරගත් මෙහෙයුම්වලින් ලද සහාය සමඟ 2015 මුල් අර්ධය තුළ ලබා තිබෙන වර්ධනය මෙම දර්ශකවලින් හොඳින් පිළිබිඹුවනවා."
මේ පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‌ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා අදහස් දැක්‌වූයේ මෙසේයි. "කාර්තු කිහිපයක් තුළ බැංකුවේ පොලී ආන්තිකයේ අඩුවීමත්, සලකා බලන කාලපරිච්ඡේදයේද රුපියල ශක්‌තිමත් වීමත් හමුවේ බැංකුවේ කාර්ය සාධනය සුවිශේෂී එකක් වී තිබෙනවා. මේ මඟින් පෙන්නුම් කරන්නේ ශක්‌තිමත් කළමනාකරණය සහ විශාල පදනමක් තුළින් බැංකුවට ලැබී තිබෙන ස්‌ථාවරත්වයයි."
විදේශ විනිමය ලාභ, කොමිස් ආදායම්, ණය නැවත අයකර ගැනීම් සහ ආයෝජන ආදායම්වලින් සමන්විත කොමර්ෂල් බැංකුවේ අනිකුත් ආදායම් සලකා බලන මාස හය තුළදී 5.11% ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 4.798 ක් ලෙස වාර්තා වී තිබෙන අතර ණය හානිකරන වියදම 12.83% ක පහළ යාමත් සමඟින් රුපියල් බිලියන 2.648 ක් ලෙස වාර්තා වී ඇත.
Courtesy: Divaina 9 September 2015