මෙරට පරිගණක සාක්ෂරතාවය දිනෙන් දිනම ඉහළ යමින් තිබීම හමුවේ ජාතික තොරතුරු තාක්ෂණ සංවර්ධන සැලසුමක් රජය විසින් සකස් කර තිබෙන අතර එහි ඇතුළත් කරුණු පිළිබඳව අවසන් තීරණයකට එළඹීම උදෙසා එම සැලසුම සාකච්ඡාවට බඳුන් කරයි.
අද උදෑසන කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විද්වතුන් මෙම ජාතික තොරතුරු තාක්ෂණ සංවර්ධන සැලසුම සංවාදයට බඳුන් කිරීම සඳහා රැස්වූ අතර අදාළ සැලසුමේ අවසන් කෙටුම්පත ඔවුන්ගේ අවසන් නිගමන අනුව සකස් කිරීමට නියමිතය.
මෙම නව සැලසුමට අනුව 2016 වනවිට මෙරට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය සියයට 75 ක් දක්වා වැඩි කිරීමට ඉලක්ක කර තිබේ.
මීට අමතරව, මෙරට තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් වෙනුවෙන් වරලත් ආයතනයක් පිහිටුවීම, කාන්තාවන් පිළිබඳව දත්ත බැංකුවක් ස්ථාපනය කිරීම, තරුණයන් තොරතුරු තාක්ෂණය හරහා සවිබල ගැන්වීම, විදාතා මධ්‍යස්ථාන හා ණැනසල මධ්‍යස්ථාන නවීකරණය කිරීම හා e-life මධ්‍යස්ථාන 10 ක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයක ආරම්භ කිරීම, ඉහළ වැටුප් සහිත තොරතුරු තාක්ෂණ රැකියා 25,000 ක් තරුණ තරුණියන් සඳහා ඇති කිරීම මෙම සැලසුමේ අන්තර්ගත වේ.
එසේම, ව්‍යාපාර ක්‍රියාවලී බැහැර ගත කිරීමේ කර්මාන්තය (BPO) ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීම, ශ්‍රී ලංකාව කළාපයේ දැනුම් කේන්ද්‍රස්ථානය ලෙස සංවර්ධනය කිරීම, ප්‍රධාන නගර 25 ක තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, ගොවිජන සේවා මධ්‍යස්ථාන 550 ක් තොරතුරු තාක්ෂණයෙන් බල ගැන්වීම, ජාතික කෘෂි කාර්මික තොරතුරු හුවමාරුවක් ස්ථාපනය කිරීමද මෙම සැලසුමේ ඇතුළත් වේ.
පරිගණක හා තොරතුරු තාක්ෂණයට සම්බන්ධ අපරාධ පාලනයටද මෙම සැලසුමින් ඉලක්ක කර තිබෙන බව මෙම සැලසුම සකස් කර තිබෙන විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය සඳහන් කරයි.
විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරන්නේ මේ වනවිට මෙරට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය සියයට 30 ක් පමණ වන බවයි.