රාජ්‍ය ආදායම
මේ වසරේ (2012) මුල් මාස පහේදී රජය උපයන ලද මුළු ආදායම (බදු සහ බදු නොවන) රු. මිලියන 386,655 කි. ගිය වසරේ (2011) මුල් මාස පහේදී රජය උපයන ලද ආදායම රු. මිලියන 354,228 කි. මේ අනුව රජයේ මුළු ආදායම සියයට 9.1 කින් වර්ධනය වී තිබේ. මුළු ආදායම තුළ ඇති බදු ආදායම රු. මිලියන 353,314 ක් දක්‌වා සියයට 11.9 කින් වර්ධනය වනවිට, බදු නොවන ආදායම රු. මිලියන 33314 ක් දක්‌වා සියයට 13.4 කින් පහත වැටුණි. රජයේ බදු ආදායම් ඉහළ යැමට, නිෂ්පාදන හා සුරාබදු ආදායම් වර්ධනය ද සැලකිය යුතු දායකත්වයක් සපයන ලදී. මේ අනුව රජය මත්පැන්වලින් උපයන ලද බද්ද (2011) වසරේ මුල් මාස පහේදී වාර්තාවූ රුපියල් මිලියන 22,725 සිට මේ වසරේ (2012) මුල් මාස පහේදී රු. මිලියන 25404 ක් දක්‌වා සියයට 11.8 කින් වර්ධනය විය. දුම්වැටි සහ දුම්කොළ බදු 2011 වසරේ මුල් මාස පහේදී පැවැති ආදායම ද රුපියල් මිලියන 19,846 සිට 2012 වසරේ මුල් මාස පහේදී රු. මිලියන 21,753 ක් දක්‌වා සියයට 9.6 කින් වර්ධනය වී තිබේ.
"තිතට මත" බදු ප්‍රතිපත්තිය
"මතට තිත" වැඩසටහන තිබුණත් රජයේ මත්පැන් හා දුම්කොළ බදු ආදායම් වසරින් වසර ඉහළ යමින් තිබේ. මත්පැන් දුම්වැටි හා දුම්කොළ මත වන බදු වැඩිකිරීම, සංචාරක කටයුතුවල වර්ධනය සහ උතුරු නැගෙනහිර පළාත්වල නව වෙළෙඳපොළවල් විවෘත වීම හේතුවෙන් මත්පැන් සහ දුම්වැටි සඳහා වන ඉල්ලුම ඉහළ යැම වැනි හේතුද රජයේ මත්පැන් හා දුම්කොළ බදු ආදායම් වර්ධනය වීමට හේතු වී ඇති බව වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සඳහන් කරයි. මත්පැන් හා දුම්වැටි වලින් රජයට බදු ආදායමක් ලැබුණත් ඒ වෙනුවෙන් ඊට වඩා වැඩි සමාජ පිරිවැයක් දරන්නට රටකට සිදුවේ. බෝ නොවන රෝග බොහොමයකට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙම දුම්වැටි සහ මත්පැන් භාවිතය බව වෛද්‍යවරු ප්‍රකාශ කරති.
මේවා නිසා වසරකට මිය යන පිරිසද දහස් ගණනකි. මේ වෙනුවෙන් රජයට දරන්නට සිදු වන සෞඛ්‍ය වියදම ද අති විශාලය. මේ සෞඛ්‍ය වියදමට වඩා වැඩි බදු ආදායමක් දුම්වැටි සහ මත්පැන් වලින් ලැබෙන නිසා එය වාසිදායක යෑයි ඇතැම් අර්ථශාස්‌ත්‍රඥයෝ පවසන නමුත් ඔවුන් කිසිවෙක් මේ නිසා දරු පවුල් කීයක සතුට විනාශ වන්නේ දැයි නොතකා හරියි. සතුට හා සංවර්ධනය අතර ලොකු සම්බන්ධයක් තිබේ. ආර්ථිකමය වශයෙන් මැනිය නොහැකි වටිනා මිනිස් ජීවිත කීයක් මේ නිසා රටක ශ්‍රම බළකායට අහිමි වන්නේ දැයි ඔවුහු සඳහන් නොකරති. මේ නිසා අප රජයට කියා සිටින්නේ දුම්වැටි සහ මත්පැන් භාවිතය අධෛර්යමත් කිරීම සඳහා ඒ මත පනවා ඇති රජයේ බදු තවත් ඉහළ නැංවිය යුතු බවයි. එසේ බදු වැඩි කිරීම නිසා දුම්වැටි සහ මත්පැන් මිල ගණන් තවදුරටත් ඉහළ යන අතර මෙය විශේෂයෙන් තරුණයන්ගේ සහ අඩු ආදායම් ලබන්නන්ගේ මත්පැන් සහ දුම්වැටි භාවිතය අඩු කිරීමට බෙහෙවින් බලපාන බව පර්යේෂණ වලින් තහවුරු වී ඇති කරුණකි. එමගින් රජයේ බදු ආදායම ද තවදුරටත් වර්ධනය වේ.
මුල් මාස පහේදී එසේම 2010 වසරේ දී කළ සමීක්‌ෂණයකින් හෙළිවී ඇත්තේ වෙනත් භාණ්‌ඩවල මිල ගණන් ඉහළ යැමට සාපේක්‌ෂව ශ්‍රී ලංකාවේ සිගරට් මිල ගණන් ඉහළ ගොස් නැති බවයි. මේ නිසා වර්ෂ 2005 න් පසු කාලයේදී ජනතාවගේ සිගරට් මිලදී ගැනීමේ හැකියාව විශාල වශයෙන් වැඩි වී තිබේ. හරි නම් මහ ඉහළින් "මතට තිත" වැඩසටහන ක්‍රියාත්මක කරනවා යෑයි කියන වත්මන් මහින්ද රාජපක්‌ෂ රජය කාලයේදී සිදුවිය යුතුව තිබුණේ මෙහි අනිත් පැත්තය. මේ නිසා කනගාටුවෙන් වූවත් කිව යුත්තේ මත්පැන් සහ සිගරට් මත අඩු බදු මුදල් අයකිරීමේ රජයේ බදු ප්‍රතිපත්තිය තුළින් සිගරට් හා මත්පැන් මිලදී ගැනීමේ හැකියාව වැඩි කිරීමටත් ඒ තුළින් ඒවායේ භාවිතය වර්ධනය කිරීමටත් මුදල් අමාත්‍යාංශය දායක වෙමින් සිටින බවයි. මෙය රජයේ "මතට තිත" ප්‍රතිපත්තියට පරස්‌පර විරෝධී තත්ත්වයකි. මේ ගැන ඉදිරියේදී තවදුරටත් විස්‌තරාත්මකව කරුණු සාකච්ඡා කිරීමටද අදහස් කරමි.
විදේශ ණය
මේ වසරේ (2012) අප්‍රේල් 30 දින වන විට ගෙවීමට තිබූ මුළු විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 18.9 කි. එදින වනවිට ණය වාරික හා පොලී ගෙවීම් (ණය සේවාකරණ වියදම්) ලෙස ඇමරිකානු ඩොලර්මිලියන 378.4 ක් ගෙවා තිබුණි. මින් ඇමරිකානු ඩොලර් මිලියන 216.3 ක ප්‍රමාණයක් ණය ආපසු ගෙවීම්ද ඇමරිකානු ඩොලර් මිලින 162.1 ක ප්‍රමාණයක් පොළී ගෙවීම්ද වේ. මේ වසර (2012) සඳහා පුරෝකථනය කර ඇති මුළු ණය සේවාකරණ වියදම ඇමරිකානු ඩොඩර් මිලියන 1630.කි. අප්‍රේල් 30 දින විට ඉන් සියයට 23 ක් ගෙවා තිබිණි.
රජයේ වියදම
මේ වසරේ මුල් මාස හතර තුළ රජයේ මුළු වියදම රු. මිලියන 593471 ක් විය. ගිය වසරේ (2011) මුල් මාස හතරේ දී වාර්තා වූ රජයේ මුළු වියදම රු. මිලියන 458,503 කි. මේ අනුව මුළු රාජ්‍ය වියදම පසුගිය වසරට සාපේක්‍ෂව රු. මිලියන 134,968 කින් ඉහළ ගොස් තිබේ. රු. මිලියන 593,471 ක් වූ මුළු වියදමෙන් රු. මිලියන 445,389 ක් පුනරාවර්තන වියදම් ද, රු. මිලියන 148,082 ක් ප්‍රාග්ධන වියදම්ද විය. අදාළ කාලය තුළ රජයේ සේවක වැටුප් වියදම සියයට 4 කින් සහ මුළු විශ්‍රාම වැටුප් වියදම සියයට 15 කින්ද ඉහළ ගියේය. දේශීය සහ විදේශීය ණය සඳහා පොලී ගෙවීමේ වියදම රු. මිලියන 173,651 ක් දක්‌වා සියයට 22 කින් වැඩි වී තිබේ. ගිය වසරේ (2011) පළමු මාස හතරේ රජයේ පොලී වියදම රු. මිලියන 142,284 ක් විය. රජයේ සුරැකුම්පත් සඳහා ගෙවූ පොලී අනුපාත ඉහළ යැම සහ ප්‍රධාන විදේශ මුදල් ඒකකවලට සාපේක්‍ෂව රුපියල පිරිහීම නිසා විදේශ ණය පොලී ගෙවීම් ප්‍රමාණය ඉහළයැම, රජයේ පොලී වියදම වැඩිවීමට ප්‍රධාන වශයෙන්ම හේතු විය.
ආදායම් හිඟය
ආදායම් හිඟය යනු රජයේ මුළු ආදායමට වඩා රජයේ පුනරාවර්තන වියදම (රජයේ එදිනෙදා වියදම) ඉහළ අගයක් ගැනීමයි. වෙනත් වචනවලින් කියන්නේ නම් මෙය රජයේ එදිනෙදා වියදම පියවා ගැනීමටවත් රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවන තත්ත්වයකි. මෙලෙස රජයේ එදිනෙදා වියදම පියවා ගැනීමට මුළු රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවන නිසා රජයේ එදිනෙදා වියදම් සඳහා ද රජයට ණය ගැනීමට සිදුවෙයි. ඒ නිසා ප්‍රාග්ධන වියදම් දැරීමට රාජ්‍ය ආදායමින් ශතයක්‌වත් ඉතිරි නොවන බැවින් ඒ සඳහා මුළුමණින්ම රජයට ණය වීමට සිදුවේ. මෙය අහිතකර තත්ත්වයකි. මේ තත්ත්වය අපේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය තුළ දක්‌නට ලැබේ. පසුගිය වසරවලදී මේ ආදායම් හිඟය තරමක් දුරට අඩුකර ගැනීමට අප සමත් වුවත්, මේ වසරේ මුල් මාස හතරේදී එය නැවතත් ඉහළ ගොස් තිබේ. මේ අනුව ගිය වසරේ (2011) පළමු මාස හතරේදී රු. මිලියන 75,370 ක්‌වූ ආදායම් හිඟය, මේ වසරේ (2012) මුල් මාස හතරේදී රු. මිලියන 139,812 ක් දක්‌වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ආදායම් හිඟය සියයට 1.2 සිට සියයට 1.9 ක් දක්‌වා වර්ධනය වී ඇත.
අයවැය හිඟය
මෙසේ අප විස්‌තර කරන ලද ආදායම් හා වියදම් තත්ත්වයන්ගේ සමස්‌ත ප්‍රතිඵලයක් ලෙස සමස්‌ත අයවැය හිඟය ගිය වසරේ පළමු මාස හතරේදී වාර්තාවූ රු. මිලියන 172,272 සිට මේ වසරේ පළමු මාස හතරේදී රු. මිලියන 285,796 ක් දක්‌වා ඉහළ ගොස් තිබේ. මේ අනුව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අයවැය හිඟය සියයට 2.7 සිට 3.8 දක්‌වා ඉහළ ගියේය. ආදායම් හිඟය සහ අයවැය හිඟය ඉහළ යැමට බලපාන ලද හේතු පිළිබඳව වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව මෙසේ සඳහන් කරයි.
"ආදායම් ලැබීමේ ප්‍රමාදයන් සහ සාමාන්‍ය කාලයට පෙර යෙදුණු වියදම් හේතුවෙන් මුල් මාස හතර තුළ මෙවැනි ප්‍රතිඵලයක් පිළබිඹු කළද වසරේ දෙවන භාගය තුළ ආදායම් වැඩිවනු ඇතැයි සහ වියදම් සීමා වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එබැවින් සමස්‌තයක් ලෙස වර්ෂය තුළ රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වයට පත් වී අයවැය හිඟය අපේක්‍ෂිත ඉලක්‌කය වන ද.දේ.නි.යෙන් සියයට 6.2 ක මට්‌ටමේ පවත්වා ගත හැකි වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ".
රාජ්‍ය සේවක වැටුප් වියදම රාජ්‍ය අයවැය තුළ තීරණාත්මක සාධකයකි. ඒ නිසා රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ දී ඔවුන් බඳවා ගන්නේ උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීමට ද එසේත් නැත්නම් රාජ්‍ය සේවයේ සැබෑ අවශ්‍යතා මතද යන්න ගැන රජය වහාම තීරණයක් ගත යුතුවේ. රාජ්‍ය සේවයේ අවශ්‍යතා නොතකමින් හුදෙක් උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීමට පමණක් රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමෙන් සිදුවන්නේ රාජ්‍ය සේවය තව තවත් අකාර්යක්‍ෂම වීමට අමතරව, ඒ අයට ගෙවන සියලු වැටුප් බර සමස්‌ත ජනයා මත පැටවීමයි. බදු ගෙවන ජනයා ලෙස නිදහස් අධ්‍යාපනයේ බර දරනවාට අමතරව, ඔවුන්ට රැකියා සපයා වැටුප් ගෙවීමටද මහජනතාවට සිදු වී ඇත. මේ තත්ත්වය සමස්‌ත රාජ්‍ය මූල්‍ය තත්ත්වයට අහිතකර ලෙස බලපෑම වැළැක්‌විය නොහැකිය. රාජ්‍ය සේවයේ සැබෑ අවශ්‍යතාවන් මත උපාධිධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ කිසිදු වරදක් නැත. එසේ නොමැතිව හුදෙක් උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීම සඳහා පමණක් ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගතහොත්, ඉන් සිදු වන්නේ ඒ අයගේ රැකියා ප්‍රශ්නය විසඳී, සමස්‌ත ජනයාගේ ජීවත්වීමේ ප්‍රශ්නය වඩාත් උග්‍රවීමයි. ඒ නිසා උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය විසඳන බවට කටමැත දොඩන මැති ඇමැත්තන් කියන්නේ අන් කිසිවක් නොව සමස්‌ත ජනයා වඩාත් අමාරු අඩියකට ඇද දමන බව නොවේද? මේ අතරම කිව යුත්තේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවන උපාධිධාරීන්ට පෞද්ගලික අංශයේ රැකියා සොයා ගතහැකි වන පරිදි සරසවි අධ්‍යාපනය ද කාලීන අවශ්‍යතාවන්ට අනුව නවීකරණය විය යුතු බවයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2012/07/08/economic11.html