කොළඹ නගරය ආශ්‍රිත මංමාවත් බොහොමයක් හැඳින්වීමට විවිධ නාම යොදා ඇත්තේ පරිපාලනයේ පහසුව පිණිසය. ඒ අතර ඇතැම් නම් වටා ඉතිහාස කතා ගෙතී ඇත.
ගාලු පාර දිගේ කොළඹ දෙසට පැමිණෙන විට බම්බලපිටිය මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණය පසුකරනවාත් සමඟ මුහුද දෙසට විහිදී ඇති දෙවැනි මාවත හැඳින්වෙන්නේ “ග්ලෙන් ආබර්” පෙදෙස යනුවෙනි. ගාලු පාර සිට බලන්නකුට සුවිසල් මන්දිරවලින් සරු වූ මෙම මාවතේ අතීත කතාව මෙසේ ය.
යුරෝපයේ දී උපත ලැබූ මෝටර් රථය ක්‍රමයෙන් ලොව පුරා සංක්‍රමණය වීම ඇරඹුණු විට අතේ මිටේ මුදල් ඇත්තෝ තම ප්‍රවාහන අවශ්‍යතා උදෙසා මෝටර් රථයක් මිලදී ගැනීමට පෙළඹුණි. ඒ එක අතකින් එය තම ධනවත් බව මෙන්ම සමාජ තලය ද විදහා පෑමේ සංකේතයක් වූ නිසාය.
කෙසේ වුවද ශ්‍රී ලංකාවට පෙට්‍රල්වලින් ධාවනය වන මුල්ම මෝටර් රථයේ ආගමනය සිදු වී ඇත්තේ වර්ෂ 1900 දී ය. එය අශ්ව බල 05ක බලයකින් යුතු විය. මුලින්ම එය වරායෙන් ගොඩබට පසු මුල් වරට පදවාගෙන ගොස් ඇත්තේ “වෝකර් සමාගමේ” පාපැදි අංශයේ කළමනාකරු වූ “සිරිල් ඩෙප්” මහතා විසිනි.
සොයිසා මහතාගේ නිවස හා මෝටර් රථය
එම රිය කොළඹ සිට ගල්කිස්ස දක්වා ඔහු විසින් පදවාගෙන යනු ලැබීය. මෝටර් රථයක් ශ්‍රී ලංකාවට සැපත් වූ මුල්ම සිදුවීම එය වුවද, මෝටර් රථයක් මිලදී ගත් ප්‍රථම ස්වදේශිකයා ලෙස ඉතිහාස ගතවන්නේ මොරටුවේ ඊ. එල්. එෆ්. ද සොයිසා මැතිතුමාය. ඔහු මිල දී ගත් මෝටර් රථය තද කළු සහ තද නිල් පාටින් යුතු තනි සිලින්ඩරයේ පෙට්‍රල්වලින් ධාවනය වන සාමාන්‍ය රථයක් විය.
සොයිසා මහතා එවකට පදිංචිව සිටියේ කොළඹ බම්බලපිටියේ “ග්ලේන් ආබර්” පෙදෙසේ පිහිටි නිවෙසේය. ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් වූ ඔහුගේ බිරිය ද මුල් වරට මෝටර් රථයක් පැදවූ කාන්තාව ලෙස ඉතිහාසයට එක් වූ බව වාර්තා විය. එදා ඔවුන්ගේ නිවෙසට යෙදූ නම අද එම වීදියට යොදා තිබේ.
එකල මෝටර් රථයක් පැදවීමට රියදුරු බලපත්‍රයක් අවශ්‍ය නොවීය. මුල්ම මෝටර් රථය හිමිකරු වූ සොයිසා මහතා පසු කලෙක පුවත්පත් මාධ්‍යවේදියකු හමුවේ පැවසුවේ මුලින්ම මෝටර් රථය පදවාගෙන යන ෙමාහොතේ ඔහු ලද අත්දැකීම්ය. එය පදවාගෙන මහාමාර්ගයේ ගෙන යාම අසීරු කටයුත්තක් විය. මඟ දෙපස ජනතාව මෙය දැකගැනීමට පුදුමයෙන් මෙන් පෙළගැසී සිටියහ. එපමණක් නොව වඩාත් බරපතළ ගැටලුව වූයේ පාරේ සිටි සුනඛයන් රෑන මෝටර් රථය වටකරමින් හඹා යාමය. එය මහත් කරදරයක් වූ අතර තුවක්කුවෙන් ඉහළට වෙඩි තබමින් උන් පළවා හැරීමට සිදුවිය. ඒ ආකාරයෙන් මහ මඟ පදවාගෙන ගිය මෝටර් රථය මිනිසුන් හැඳින්වූයේ “කාර්මික මී හරකා” යන අන්වර්ථ නාමයෙනි.1914 වන විට මෙරටට විවිධ වර්ගයේ මෝටර් රථ හා මෝටර් බයිසිකල් ආනයනය කරවන ලදී. ඒවායින් බොහොමයක්ම රථ අශ්ව බල සුළු ප්‍රමාණයේ වූ අතර සිලින්ඩර් දෙකේ වාහන විය. වේගය වූයේ පැයට සැතපුම් 20 කි. පෙට්‍රල් ගැලුමකින් ධාවනය කළ හැකි උපරිම දුර සැතපුම් 25 කි. මෙරට මහාමාර්ගවල එවකට පැවැති තත්ත්වය ඉතා දුෂ්කර වූවේය.
අද ග්ලෙන් ආබර් පෙදෙස
එකල අද මෙන් ඉන්ධන පිරවුම්හල් රට පුරා නොවූයෙන් පෙට්‍රල් පුරවන ලද බැරල් දුම්රිය මගින් මෝටර් රථයේ රියදුරාට අවශ්‍ය ස්ථානය දක්වා කලින් යවනු ලැබීය. අතරමඟදී මෝටර් රථය කාර්මික දෝෂයකට මුහුණ පෑවොතින් එය අලුත්වැඩියා කර ගැනීමට ගරාජ නොවීය.
රියදුරාටම එය හැකි අයුරින් පිළිසකර කර ගැනීමට සිදු විය. එසේ ම මාර්ග සංඥා කිසිත් මාර්ගවල නොතිබුණු නිසා රියදුරාගේම සහජ බුද්ධියෙන් හා මාර්ගය පිළිබඳ දැනුම්වත්ව සිටිමින් රථය ධාවනය කිරීමට කටයුතු සලසා ගත යුතු වූයේය.
එලෙස, කෙතරම් දුෂ්කරතා මධ්‍යයේ නොදියුණු තත්ත්වයක වුවද ඔවුහු ඉතා නීතිගරුක ලෙස හා සහයෝගතාවෙන් යුතුව මෝටර් රථ ධාවනය කළ බව මෝටර් රථ ඉතිහාසයේ පුරෝගාමියකු වූ “ලුවිස් සේඩ්ල්” මහතාගේ මතය විය.කෙසේ නමුත් “ග්ලෙන් ආබර්” යන නාමය මෙම පෙදෙසට උරුම වීම පිළිබඳ ඇත්තේ ද සුවිශේෂී ඉතිහාසයකි. “ග්ලෙන් ආබර්” යනු මෙම මාවතේ සුසැදි මහා මන්දිරයකට යොදා තිබූ නමය. මහා ධනවතකු වූ එඩ්වින් ලයනල් ෆෙඩ්රික් ද සොයිසා හෙවත් ඊ. එල්. එෆ්. ද සොයිසා මහතා පදිංචිව සිටි මන්දිරයයි.
මෙරට මුල් වරට මෝටර් රථයක් මිලදී ගත් ප්‍රථම ස්වදේශිකයා වීමේ භාග්‍ය හිමිකර ගත් සොයිසා මහතාගේ නිවෙස හැඳින්වූ නම අද එම පෙදෙස හැඳින්වීමට යොදා තිබීම අපට දැකගන්නට ලැබෙන්නේ එලෙසය.
ග්ලෙන් ආබර් පෙදෙස අද නිසංසල සයුර අද්දරට දෙනෙත් විදා වැතිර සිටියද නිහඬ මුවින් පවසන්නේ අතීතයේ ප්‍රෞඪ කාලපරිච්ඡේදයක ඇසී නෑසී ගිය මෙවන් කතාවකි.
නන්දි අලුත්ගේ රත්නවීර
http://www.dinamina.lk/2012/08/09/_art.asp?fn=f1208093