කොරේ පිටට මරේ කියන්නාක් මෙන් හෙජින් ගිවිසුම්වලට අදාළ මුදල් ස්‌ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවට ගෙවන ලෙස බ්‍රිතාන්‍ය වාණිජ අධිකරණයක් විසින් තෙල් සංස්‌ථාවට දුන් නියමයට එරෙහිව සිදු කළ අභියාචනයෙන්ද සංස්‌ථාව පරාජයට පත්වී ඇත. හෙජින් පාපකර්ම, බාල තෙල් ප්‍රශ්න මෙන්ම නොයෙකුත් යහපාලන ගැටලු නිසාද තෙල් සංස්‌ථාවට බරපතල අපලයකට මුහුණදීමට සිදුව ඇත්තේය. මේ පාපකර්මවල බර පැටවෙන්නේ මහජනතාව මත නම් තෙල් සංස්‌ථාවේ අපලය මහජනතාවගේ 'කරුමයක්' බවට පත් වීමද වැළැක්‌විය නොහැකිය. මෙවැනි පසුබිමක් තුළ හෙජින් අභියාචනයෙන් රජයට පත්වීම ඇතුළු තෙල් සංස්‌තාවේ නරක කල දසාව ගැන මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වේ.
හෙජින් අභියාචනයෙන් තෙල් සංස්‌ථාව පරාජයට පත්වූ පුවතේ උණුසුම යන්නටත් පෙර බාල ඩීසල් ප්‍රශ්න මතුවිය. ඒ අනුව ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය නිසා දුම්රිය එන්ජින් කිහිපයක් කාර්මික දෝෂවලට ලක්‌ව ඇති අතර මේ නිසා දුම්රිය ධාවනය සඳහා සුපිරි ඩීසල් භාවිතා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව දුම්රිය එන්ජින් සඳහා සුපිරි ඩීසල් ලබාදීමට තෙල් සංස්‌ථාවට සිදුවී තිබේ. ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට මෙන්ම වරායේ දොඹකර යනාදියට ද මිල අධික සුපිරි ඩීසල් ලබාදීමට සිදුවිමෙන් තෙල් සංස්‌ථාවට විශාල පාඩුවක් විදීමට සිදුවනු ඇත. සාමාන්‍ය ඩීසල් ලීටයරක මිල රු. 115 ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 159 ක් වීම මීට හේතුවයි. කාර්මික දෝෂවලට ලක්‌වූ දුම්රිය එන්ජින්වලට භාවිතා කළ ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ සොයා බැලීමට එම ඩීසල් සාම්පල් මේ වන විට රසායනාගාර පරීක්‍ෂාවට යොමු කර ඇත.
දුම්රිය එන්ජින්වලට අමතරව ලංගම බස් රථ ගණනාවක්‌ද ප්‍රදේශ කිහිපයකදී කාර්මික දෝෂන්ට ලක්‌ව ඇත්තේද ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය නිසා බවට සැක කෙරේ. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා පවසන පරිදි මේ වන විට පෞද්ගලික බස් රථ සියයකට අධික ප්‍රමාණයක්‌ද දොaෂවලට ලක්‌ව ඇත. විවිධ ප්‍රදේශවලින් එම සිද්ධි වාර්තා වී ඇතැයි ද එම බස් රථ අලුත්වැඩියාවට රු. 75,000 ත් රු. 100,000 ත් අතර මුදලක් වැය වනු ඇතැයි ද ඔහු මාධ්‍යයට පවසා තිබිණි. ලෙඩ වී ඇති ලංගම බස් රථ අලුත්වැඩියා කිරීමට ලංගමයටද අතිරේක මුදල් වියදම් කිරීමට සිදුවනු ඇත. එසේම බාල ඩීසල් නිසා වෙනත් පෞද්ගලික ඩීසල් වාහන ද ලෙඩ වී ඇත්නම් ඒ ලෙඩ සුවකර ගැනීමටද ඔවුන්ට මුදල් වැය වනු ඇත්තේය.
මේ ආකාරයට වාහන අතරමග නතර වන අන්දමේ ප්‍රමිතිය පිළිබඳ ගැටලු සහගත ඩීසල් ගෙන්වා ඇත්දැයි සොයා බැලීමට ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා විසින් ජුලි 31 වැනිදා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී. දුම්රිය එන්ජින්, වරායේ දොඹකර, ලංගම බස්‌රථ හා පෞද්ගලික ඩීසල් වාහන මහමග නතරවීම පිළිබඳ ලැබී ඇති පැමිණිලිවලින් පසු මේ කමිටුව පත්කරනු ලැබූ අතර ඩීසල් භාවිතයෙන් පසු දෝෂවලට ලක්‌වූ වාහන පිළිබඳ ලිඛිත තොරතුරු ලබාදෙන ලෙසද තෙල් තොග ගබඩා පර්යන්ත (සී. පී. එස්. ටී. එල්) සමාගම වාහන හිමියන්ගෙන් ඉල්ලා තිබේ. ඒ අනුව දැන් එවැනි පැමිණිලි තෙල් සංස්‌ථාවට ලැබෙමින් තිබෙන බවද අපට නගන්නට ඇත. ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න ඇති අදාළ ඩීසල් වාහනවලට ගැසීමේදී පෙණ මතුවන බැවින් වාහන හිමියන් සහ ඉන්ධන හල් හිමියන් අතරද ගැටලු හටගන්නා බව ඉන්ධන හල් හිමියෝ පවසති.
මේ බාල ඩීසල් ගැටලුව කාගේ හෝ වරදක් නිසා සිදුවූවක්‌ද යන්න තවමත් අප දන්නේ නැත. ඛනිජ තෙල් ලේකම්වරයා පත් කර ඇති කමිටුවේ වාර්තාවෙන් ඒ ගැන හෙළි වනු ඇත. හිතාමතා කළ දෙයක් වුවත් නැතත් එයට වාහන හිමියන් පළි නැත. ඒ නිසා කලින් බාල පෙට්‍රල් ප්‍රශ්නයේදී මෙන් මෙවරද ලෙඩවූ වාහනවලට වන්දි ගෙවීමට තෙල් සංස්‌ථාවට සිදුවනු ඇතිද? හෙට දවසේ දී ඒ ගැන අපට දැනගත හැකිය.
දිගින් දිගටම අලාභ ලබමින් සිටින ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව 2010 වසරේදී රු. කෝටි 2700 ක පමණ අලාභයක් ලැබූ අතර එම අලාභය 2011 වසරේදී රු. කෝටි 9400 ක් දක්‌වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. මේ අනුව අලාභයේ සිදුව ඇති වැඩිවීම පමණක් රු. කෝටි 6700 ක් පමණ වේ. විදුලිය නිපදවීම සඳහා ලංකා විදුලි බල මණ්‌ඩලයට හා විදුලිබලය සපයන පෞද්ගලික අංශයේ ආයතනවලට අඩුමිලට දැවි තෙල් සැපයීම සහ ජාත්‍යන්තර මිල ගණන් අනුව දේශීය තෙල් මිල ගණන් වැඩි නොකිරීම තෙල් සංස්‌ථාවේ මේ අලාභයට ප්‍රධාන හේතුව බවද, 2011 වසර අග වන විට රජයට වෙනත් ආයතනවලින් රු. කෝටි 11,500 ක පමණ විශාල මුදලක් හිඟ බිල්පත් වෙනුවෙන් ලැබිය යුතුව තිබීම තෙල් සංස්‌ථාවේ මූල්‍ය තත්ත්වය මත විශාල පීඩනයක් ඇති කළ බවද මහ බැංකුව කියයි. තෙල් සංස්‌ථාවේ අහිතකර මූල්‍ය තත්ත්වය පිළිබඳව මහ බැංකුව තවදුරටත් මෙසේද කියයි.
'ල. ඛ. නී. සං. (ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්‌ථාවේ) දිගින් දිගටම පවතින මෙහෙයුම් අලාභ හේතුවෙන් රජයට විශාල බදු ආදායමක් අහිමිවන අතර, අවශ්‍ය කාරක ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම සඳහා බැංකු ක්‍ෂේත්‍රයෙන් මහා පරිමාණයෙන් ණය ලබාගැනීමටද සිදුවී ඇත. 2011 වසර තුළදී ලං. ඛ. නී. සං. මගින් කාරක ප්‍රාග්ධනය සඳහා බැංකු ක්‍රමයක් ලබා ගන්නා ලද ශුද්ධ ණය ගැනීම් රුපියල් බිලියන 53.3 කින් (රු. කෝටි 5330 කින්) ඉහළ ගියේය. ලං. වි. ම. සහ අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් මගින් ලං.ඛ. නී. සං ට ගෙවිය යුතු එකතු වූ හිඟ මුදල් ප්‍රමාණය පියවීම සඳහා 2012 ජනවාරි මසදී රජය විසින් රුපියල් බිලියන 55 ක භාණ්‌ඩාගාර බැඳුම්කරද නිකුත් කරන ලදී.'
තෙල් සංස්‌ථාවේ මුළු අලාභයට ඩීසල් අලෙවිය සියයට 46 ක ප්‍රමාණයක් සහ විදුලිය නිපදවීමට අඩුමිලට දැවි තෙල් සැපයීම සියයට 45 ක ප්‍රමාණයක් ද දායක වෙයි. තෙල් සංස්‌ථාවේ අති විශාල අලාභ තත්ත්වය මෙන්ම ලැබිය යුතුව පවතින හිඟ මුදල් හේතුවෙන් සංස්‌ථාවේ ද්‍රවශීලතාව හීනවී ඇති අතර තෙල් ආනයනය කිරීමට සිදුවී ඇත්තේ බැංකු ණය ගැනීමෙනි. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 3700 ක් පමණ වන තෙල් සංස්‌ථාවේ මුළු ආනයන වටිනාකම පියවා ගැනීමට සිදුව ඇත්තේ ලංකා බැංකුව සහ මහජන බැංකුව වෙතින් ලබාගත් ණය මුදල් මගින් වන අතර ගිය වසර (2011) අවසානයේ තෙල් සංස්‌ථාව බැංකුවලට ගෙවීමට තිබූ මුළු ණය ප්‍රමාණය රු. කෝටි 32800 ක් තරම් ඉහළ අගයක් ගනියි. මේ අතර තෙල් සංස්‌ථාවට භාහිර පාර්ශ්වයන් වෙතින් ණය ලබා ගැනීමට ඇති හැකියාව සහනයක් වෙමින් රජය විසින් රු. මිලියන 11389 ක් පමණ වටිනා භාණ්‌ඩාගාර ඇපකරයක්‌ද නිකුත් කළේය.
තෙල් සංස්‌ථාවේ තිබෙන අඩු කාර්යසාධන මට්‌ටම හමුවේ තෙල් සංස්‌ථාවේ පවතින යහපාලන ගැටලුද සංස්‌ථාවට අපල ගෙන දීමට සමත්වී ඇත. මේ ගැන මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ (2011) මෙසේ සඳහන් වේ. 'තෙල් සංස්‌ථාව විසින් එහි කළමනාකරණය හා ව්‍යාපාර රාමුව ප්‍රතිසංවිධානය නොකිරීම, මෙම ක්‍රියාකාරී මට්‌ටම ළඟා කර ගැනීම තවදුරටත් දුර්වල කොට තිබේ. ප්‍රසම්පාදන කාර්යයන් සඳහා පැහැදිලි උපාය මාර්ගයන් නොමැතිවීම, අකාර්යක්‍ෂම මිල කිරීම හා පිරිවැය කළමනාකරණය, මූල්‍ය හා මෙහෙයුම් පටිපාටීන් දුර්වල වීම ආයතනික වත්කම් ඌන උපයෝජනයට මෙන්ම කාර්යක්‍ෂමතාව කෙරෙහිද බලපා ඇත. රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ පොදු කාරක සභාව විසින්ද ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ යහපාලන දුර්වලතා ඉක්‌මනින් විසඳීම පිළිබඳව පෙන්වා දී ඇත. ඒ අතරම ඇ. ඩො. බිලියන 5 ක් පමණ වාර්ෂික පිරිවැටුමක් සහිත ජාත්‍යන්තර වෙළෙඳ භාණ්‌ඩයක් සම්බන්ධව කටයුතු කරන රටෙහි විශාලතම ව්‍යාපාරයක් වන ඛනිජතෙල් නීතිගත සංස්‌ථාව කළමනාකරණ කමිටු, විගණන කමිටු, ප්‍රසම්පාදන කටයුතු මූල්‍ය කළමනාකරණය ශක්‌තිමත් කිරීමත් ප්‍රධානතම තනතුරු සඳහා වෘත්තීයවේදීන් බඳවා ගැනීමත් කළ යුතුව ඇත.'
මේ ආකාරයේ බලවත් අපලවලට මුහුණදී සිටින අපේ තෙල් සංස්‌ථාවට හෙජින් ගිවිසුම් වෙනුවෙන් ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඉල්ලා සිටින මුදල් ගෙවීමට සිදුවුවහොත් වන්නේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි වැඩකි. අදාළ හෙජින් මුදල් ඉල්ලා එම බැංකුව අපේ තෙල් සංස්‌ථාවට එරෙහිව ලන්ඩන් වාණිජ අධිකරණයේ පැවරූ නඩුවෙන් පසුගිය වසරේ (2011) අප පරාජයට පත් විය. ඒ සඳහා තෙල් සංස්‌ථාව විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර එයින්ද සංස්‌ථාව දැන් පරාජයට පත්ව තිබේ. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 164 ක මුදලක් පොලියද සමග ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට ගෙවීමට නියම වී ඇත. ඇමෙරිකානු ඩොලර් මිලියන 164 ක් යනු අතිවිශාල මුදලකි. එහි රුපියල් වටිනාකම කෝටි 2,132 ක පමණ මුදලකි. නියමිත පොලියද එකතු වූ විට මෙම අගය තවත් ඉහළ යයි.
අදාළ අභියාචනය අපේ අවාසියට තීන්දු වූ පසු තෙල් සංස්‌ථාව ප්‍රකාශ කළේ එම නඩු තීන්දුවට එරෙහිව යළිත් අභියාචනයක් ඉදිරිපත් කරන බවයි. ඒ අනුව තෙල් සංස්‌ථාවට මේ මරාලයෙන් බේරීම සඳහා අවසාන අවස්‌ථාවක් උදා වී තිබේ. ඉන් ජය ගැනීමට සංස්‌ථාවට හැකි වුවහොත් පමණක් හෙජින් අපලයෙන් ජාමෙ බේරා ගැනීමට රජයට හැකිවනු ඇත. එම අභියාචනයෙන්ද පරාජයට පත්වුවහොත් දැනටමත් අතිවිශාල පාඩු ලබන තෙල් සංස්‌ථාව තවත් අන්ත අසරණ තත්ත්වයට පත්වීම වැළැක්‌විය නොහැකිය. එහෙත් අවසාන විග්‍රහයේදී සිදුවනු ඇත්තේ මේ හෙජින් පාපකර්මවල විපත මහජනතාව පිට පැටවීම හැර අන් කුමක්‌ද? බාල තෙල් ප්‍රශ්නවලට කමිටු පත් කරන ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත තවමත් මේ හෙජින් ගිවිසුම්වලට වගකිවයුත්තන්ට එරෙහිව කිසිවක් සිදුකර නැත. මේ හෙජින් ප්‍රශ්නය ආරම්භයේ සිටම අදාළ වගකිවයුත්තන්ට එරෙහිව කිසිවක් නොකරන ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරමින් තිබෙන හෙයින්, ඇමැති සුසිල් ප්‍රේමජයන්තට මේ වෙනුවෙන් කරන්නට දෙයක් නැතුවා වන්නට පුළුවන. නිකං ලෙඩ දාගන්නේ කුමකටදැයි ඔහු සිතනවා විය යුතුය.
මේ තත්ත්වය කෙසේ වෙතත් මේ හෙජින් ගිවිසුම් නිසා මෙන්ම ඒ සඳහා නඩු කීම වෙනුවෙන් තෙල් සංස්‌ථාවට යම් වියදමක් දරන්නට සිදුවන්නේ නම් ඒ සෑම ශතයක්‌ම ඊට වගකිවයුත්තන්ගෙන් අයකර ගත යුතු බවද මේ පාපකර්මවලට වගකිවයුතු නැති මහජනතාව පිට මේ බර පැටවීම මහජනතාවට කරන සතුරුකමක් බවද අපි එකහෙළා රජයට කියා සිටිමු.
ඒ. එච්. එම්. ෆවුසි මහතා ඛනිජ තෙල් විෂයභාර ඇමැතිවරයා වශයෙන් සිටියදී සහ අසන්ත ද මෙල් මහතා තෙල් සංස්‌ථා සභාපතිවරයාව සිටියදී සිදුවූ හෙජින් පාපකර්මවලට වත්මන් විෂයභාර ඇමැති සුසිල් ප්‍රේමජයන්ත වගකිවයුතු නැතත් ඒ වෙනුවෙන් දැන් ඉදිරි පියවර ගනිමින් එහි විපාකවලින් ජනතාව බේරා ගැනීමේ වගකීම ඇත්තේ ඔහුටය. ඒ සඳහා හෙජින් අභියාචනයන් ජයගැනීමට සෑම උත්සාහයක්‌ම ගන්නා අතරම හෙජින් උගුලේ රට සිරකළ ආර්ථික ඝාතකයන්ට එරෙහිව පියවර ගැනීමද අත්‍යවශ්‍යමය. ඒ නිසා ඇමැති සුසිල් ප්‍රේමජයන්තට අප කියා සිටින්නේ ඒ වගකීම ඉටු නොකිරීමද තවත් පාපකර්මයක් බවයි.
මෙවැනි බලවත් පාපකර්ම ගැන හෙළිකරන ජනමාධ්‍යයට එරෙහිව නීති පැනවීමට ද තෙල් සංස්‌ථා කළමනාකාර අධ්‍යක්‍ෂ සුසන්ත සිල්වා ක්‍රියාකර ඇත. ඔහු නිකුත් කළ ලිපියකට අනුව තෙල් සංස්‌ථාව ගැන තොරතුරු දැනගැනීමට මාධ්‍යවේදීන් විසින් ඔවුන්ගෙන් ලිඛිතව ඉල්ලීම් කළ යුතුවේ. එහෙත් මහජනතාව වෙනුවෙන් තොරතුරු ලබාගැනීම සඳහා ජනමාධ්‍යයට කිසිවකුගෙන් ලිඛිතව අවසර ලබාගත යුතු නැති බවද අපි සුසන්ත සිල්වා ඇතුළු තෙල් සංස්‌ථාවේ ලොක්‌කන්ට මතක් කර සිටිමු.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
දිවයින පුවත් පත අනුග්‍රහයෙනි