මිල පරාස නීතිය පැනවීමෙන් සිදු කළේ කුමක්‌ද? එහිදී කොටස් වෙළෙඳපොළේ සමාගම්වල කොටස් ගනුදෙනු දින 5 ක කාලයක් නිරීක්‍ෂණය කිරීමෙන් පසු ඉතා අධික ලෙස මිල උච්චාවචනය වන (ඉහළ සහ පහළ යන) සමාගම් හඳුනාගෙන, එම සමාගම් සඳහා ගනුදෙනු දින 15 ක් සඳහා එක් දිනක් තුළ කොටස් මිල ගණන් ඉහළ සහ පහළ යා හැකි උපරිම සීමාව සියයට 10 ක් බව නියම කරන ලදී. උදාහරණයක් ලෙස කොටසක පවතින මිල රු. 100 නම් මේ මිල උපරිම ලෙස ඉහළ යා හැකි වන්නේ රු. 110 දක්‌වා පමණක් වන අතර උපරිම වශයෙන් එකී කොටසේ මිල පහළ වැටිය හැක්‌කේ රු. 90 දක්‌වා පමණය. නව තීරණය අනුව මාර්තු 01 වෙනිදා සිට මෙම මිල පරාසයට අහුවන දින ගණන දින 15 සිට 10 දක්‌වා අඩු කර තිබේ.
මේ අතරම කොමිසම ගත් අනිත් තීරණය නම් මිල පරාස සීමාවට හසුවන සමාගම්වල කොටස් මිලදී ගන්නා ආයෝජකයන් විසින් එම සමාගම්වල කොටස් මිලට ගැනීමට පෙර සියයට 50 ක අත්තිකාරම් මුදලක් ගෙවිය යුතු බවට පැවැති නියමය ඉවත් කිරීමයි. එය මාර්තු 01 වෙනිදා සිට බලපැවැත්වේ. මේ නිසා මාර්තු 01 වැනිදායින් පසු යම් සමාගමක් මිල පරාස සීමාවට යටත් වුවද එම සමාගම්වල කොටස් මිලට ගැනීමට පෙර අත්තිකාරම් මුදල් ගෙවීමට අවශ්‍ය නොවනු ඇත.
ලබන අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තවත් නව නියමයක්‌ද සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් පනවනු ලැබ තිබේ. 2011 අප්‍රේල් 01 දිනට පසු ලැයිස්‌තුගත වන සමාගම්වල ආයෝජකයන් පෞද්ගලික කොටස් නිකුතුවකදී මිලදී ගත් කොටස් (මහජන කොටස් නිකුතුවකදී නොවේ) අලෙවි කිරීම වසරක් දක්‌වා අත්හිටුවීම එම නියමයයි. මෙම රීතිය බල පැවැත් වෙනුයේ 2011 පෙබරවාරි 07 වන දිනට පසුව ආයෝජකයන්ට නිකුත් කළ කොටස් වලට පමණක් බවද කොමිසමේ සභාපති ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය පවසන්නීය.
මෙයද තරමක් පැහැදිලි කළ යුතු කරුණකි. එනම් ඇතැම් සමාගම් මහජන කොටස් නිකුතුවක් සිදු කිරීමට පෙර පෞද්ගලිකව කොටස් නිකුත් කරනු ලබයි. ඉන් පසු මහජනයාට කොටස් නිකුත් කර (මහජන කොටස් නිකුතුවක් සිදුකර) කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි වේ. මහජනයාට සමාගමක කොටස් මිලට ගත හැක්‌කේ මෙවැනි මහජන කොටස් නිකුතුවකදීය. පෞද්ගලික කොටස් නිකුතුවකදී මහජනයාට කොටස් මිලට ගත නොහැක. ඒ නිසා සමාගම් බොහෝ විට කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කිරීමට පෙර පෞද්ගලික කොටස් නිකුතුවක් සිදු කර තම හිතවත් අයට සාපේක්‍ෂව අඩු මුදලට කොටස් අලෙවි කරනු ලබයි. ඉන් පසු සමාගම කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කළ පසු ඉහළ මිලකට එම කොටස් ප්‍රමාණය අලෙවි කර අධික ප්‍රාග්ධන ලාභයක් ලබා ගන්නා තත්ත්වයක් තිබිණි. මෙය මහජන කොටස් නිකුතුවේ දී එම සමාගමේ නව ආයෝජකයන්ට අහිතකර ලෙස බලපානු ලබයි. ඒ නිසා එවැනි අසාධාරණයන් ආයෝජකයන්ට සිදුවීම වැලැක්‌වීම සඳහා මෙසේ පෞද්ගලික කොටස් නිකුතුවකදී මිලදී ගන්නා කොටස් විකිණීම වසරක් දක්‌වා අත්හිටුවීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම මේ නියමය පනවනු ලැබ ඇත.
http://www.divaina.com/2011/02/27/economic06.html