කොළඹ කොටස් වෙළඳ පොළේ පසුගිය කාලයේදී පෙරළි කිහිපයක්ම සිදුවුණි. කොටස් වංචාවන්ට වැට බඳිමින් සිටි විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාරු කෙරුණු අතර එහි සභාපතිනිය ඉල්ලා අස්විය. මේ අතර, කොටස් තැරැව්කාර සංගමය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව පැහැදිලි කිරීමක් කර තිබේ.
අදාළ යෝජනාවලිය පිළිබඳව පැතිර ගිය වැරදි මතවාද වලට පිළිතුරු ලෙස මෙම කරුණු පැහැදිලි කිරීම කරන බවත් මෙම සංගමය මෙරට සියළු කොටස් තැරැව්කාර සමාගම්වල සාමාජිකත්වයෙන් සැදුම් ලද්දක් වන බවත් එය 1995 වසරේ සිට අඛණ්ඩව සක්‍රීය වෙමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ සංවර්ධනයට ඉවහල්වන විවිධ ප්‍රතිපත්ති තීන්දු තීරණ වලට පසුගිය කාලය මුළුල්ලේ විවිධ අයුරින් දායකත්වය ලබාදී තිබෙන බවත් සඳහන්ය.
මේ අනුව, යමින් පශ්චාත් යුද සමයේ රජයේ සාර්ව ආර්ථික අරමුණු හා පරමාර්ථ අනුව යමින් රටේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රවර්ධනයට අවශ්‍ය නව ප්‍රතිපත්තිමය රාමුව සකස් කිරීමෙහිලා අවශ්‍ය ව්‍යුහාත්මක ගැලපීම් සිදුකිරීම සම්බන්ධයෙන්ද කොළඹ කොටස් තැරැව්කාර සංගමය තීරණාත්මක කාර්ය භාරයක් මේ වනවිටත් ඉටු කරමින් තිබෙන බවද සඳහන් කර ඇත.
මෙම අරමුණු හා පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමෙහිලා අවශ්‍ය උපාය මාර්ග හා නිර්ණායකයන් පිළිබඳව කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය, සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ගණනාවකදී සාකච්ඡා පැවැත්වූ බවත් එහිදී ඇතිකර ගත් එකඟතා කොළඹ කොටස් වෙළෙඳ පොළ කළමණාකාරීත්වය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙතද ඉදිරිපත්කර සාකච්ඡාවට බඳුන් කර අවසානයේ පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ විෂය භාර මැති ඇමති හා නිළධාරී මඩුල්ල වෙතද ඉදිරිපත් කළබව සඳහන්ය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ තබන ලද්දේ පහත දැක්වෙන යෝජනාවලිය බව කොටස් තැරැව්කාර සංගමය පවසා තිබේ.
01. තමන්ගේ ශූද්ධ ප්‍රාග්ධන ප්‍රමාණයෙන් තුන් ගුණයක් දක්වා ආන්තික ණය පහසුකම් සැපයිය හැකිසේ තැරැව්කාර ආයතන මත පනවා ඇති ආන්තික ණය සීමා බන්ධන මුළුමණින්ම ඉවත් කිරීම-මෙය වෙළෙඳ පොළ ද්‍රවශීලතාවය ඉහළ යාමට තුඩු දෙන කාරණාවකි. 2010 සැප්තැම්බර් 14දාට පෙර තැරැව්කාර ආයතන වලට තම ශූද්ධ ප්‍රාග්ධන ප්‍රමාණයෙන් 10 ගුණයක් දක්වා ආන්තික ණය පහසුකම් සැපයිය හැකි සේ වතාවරණයක් සැලසී තිබූ බවද සඳහන් කළ යුතුය. වර්තමානයේ ලබාදෙන ආන්තික ණය ප්‍රමාණය තීරණය වන්නේ තැරැව්කාර ආයතන වල ද්‍රවශීල වත්කම් වලින් එහි බැඳීම් (වගකීම්) අඩුකර ලැබෙන ගණනය කිරීම් මතය. මෙය ශුණ්යක තුලනයට සමානය. වර්තමානයේ මෙම ආන්තික ණය සම්බන්ධයෙන් අවදානම් තක්සේරුවක් නියාමක විසින් සිදු කරනු ලබන අතර අනාගතයේ මෙම ලබාදෙන ණය සම්බන්ධයෙන් ඇති අවධානම අඩු බවට අපට තක්සේරුවක් ලබාදිය හැක. මන්ද,කොළඹ කොටස් වෙළෙඳ පොළ නව රෙගුලාසි අනුව තැරැව්කරුවන් විසින් ක්‍රමවත් අවධානම් කළමණාකරණ ක්‍රමවේදයක් අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු බැවිණි.
02. රහසිගත සූත්‍රයකට අනුව ක්‍රියාත්මක වන ලැයිස්තුගත සමාගම් වල මිල උච්චාවචනයන් සම්බන්ධයෙන් පනවා ඇති මිල සීමා බන්ධනයන් ලිහිල් කිරීම- කොටස් වෙළෙඳ පොළ ස්වාධීන මිල තීරණය වීමේ යාන්ත්‍රණයට වන බලපෑම් ඉවත් කිරිමේ අරමුණින් මෙම ඉල්ලීම සිදුකර ඇත. සමාගමක කොටස් මිල තීරණය කිරීමේ ක්‍රියාදාමයේදී සියළු දෙනාටම සමානව සක්‍රීය සහභාගීත්වය ලැබෙන පරිදි ක්‍රමවේදයක් මෙහිදී අප සංගමය යෝජනා කරන අතර ඒ අනුව එක් දිනකදී විශාල වශයෙන් අසාමාන්‍ය අන්දමින් සමාගමක මිල උච්චාවචනයන් සිදුවන අවස්ථාවක අන් රටවල මෙන්ම කලකට ඉහත මෙරටද ක්‍රියාත්මන වූ පරිදි අදාල මිල උච්චාවචනය බඳුන් වන සමාගමේ ගනු-දෙනු සිදුවීම ස්ව්‍යංක්‍රීයව තාවකාලිකව නතර කර ඊට අදාල කරුණු විමසීමක් කොළඹ කොටස් වෙළෙද පොළ නිසි බලධාරියෙකු විසින් සිදුකර ඒ අනුව ඇතිවන තත්ත්වයන් මත නැවත සමාගමේ ගනු-දෙනු සිදුකිරීමේ ක්‍රියාදාමයක් හඳුන්වා දීම වඩාත් සුදුසු යැයි අප විශ්වාස කරමු.
03. දැනට වාණිජ බැංකු තමන්ගේ මුළු ණය කළඹෙන් කොටස් වෙළෙඳ පොළ ආන්තික ණය අවශ්‍යතා වෙනුවෙන් මුදා හැර ඇති සියයට 5 සීමාව සියයට 7.5 දක්වා ඉහළ නංවාලීම-පසුගිය වසරේ වාණිජ බැංකු මෙම ආන්තික ණය සීමා සම්බන්ධයෙන් නියාමක වෙතින් කිසිදු සීමාවක් නොතිබුණි. රටේ ආර්ථීකයේ වර්ධනය වන අංශයන්ට ණය සීමා පුළුල් කිරිම සම්බන්ධයෙන් මීට වඩා නම්‍යශීලි බවක් තිබිය යුතු බව අප සංගමය විශ්වාස කරන අතර මෙය බැංකු වල අභිමතය පරිදි සිදුවීම වඩා උචිත බවද අප විශ්වාස කරමු.
04. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලයලත් විදෙස් ආන්තික ණය පහසුකම් සපයන ආයතන වෙත ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබාදීම- ශ්‍රීලංකාවේ 1918 මුදල් ණයට දිමේ ආඥා පනත අනුව විදෙස් සමාගම් සදහා මුදල් ණයට දීමේ ක්‍රියාදාමය තහනම් කටයුත්තක් වේ. නමුත්, අප අවධාරණය කර සිටින්නේ ආන්තික ණය දීම රටේ සුරැකුම්පත් වෙළෙඳ පොළ සම්බන්ධයෙන් විශේෂ කටයුත්තක් බවයි. මහ බැංකුව මගින් මෙලෙස විදේශ ආයතන වලටද ආන්තික ණය දිමේ සීමා පුළුල් කිරීම තුළින් ආයෝජකයිනගේ නව මූල්‍යමය අවශ්‍යතා සපුරාලීමක්ද සිද්ධ වේ. එමෙන්ම, යුද්ධයෙන් පසු රටේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රවර්ධනයට මෙන්ම විදේශ අරමුදල් මෙරටට අද්දවා ගැනීම සම්බන්ධයෙන්ද මෙම නීති රීති ලිහිල් කිරිම මගින් මහැඟී දායකත්වයක් ලැබෙන බවද අපේ විශ්වාසයයි.
5.තැරැව්කාර සමාගම්හි කොළඹින් බැහැර ශාඛා ව්‍යාප්ත කිරීමේ ක්‍රියාදාමයෙහිදී දැරීමට සිදුවන වියදම් වලින් කොළඹ කොටස් වෙළෙඳ පොළ මගින් සියයට 50 ක්ද දායකත්වයක් ලබාදීම.- කොළඹ කොටස් වෙළෙඳ පොළ යනු ලාභ ලැබීමේ පරමාර්ථයෙන් තොර ඇපයෙන් සීමිත සමාගමක් වන අතර එය රටේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ ව්‍යාප්ත කිරීමට සඳහා අවශ්‍ය විශාල අරමුදල් වලින් පොහොසත්ව පවති. මේ නිසා මෙම අරමුදල් සක්‍රීයව මෙම කාර්යට යෙදවීම මගින් රටේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රවර්ධනය වනවා සේම නව රැකියා අවස්ථාද ජනිත වී සමස්තයක් ලෙස රටේ ආර්ථීක සංවර්ධනයට මෙම කාර්යයන් මහඟු පිටු වහලක් වන බව අපේ මතයයි. රජයේ ආයතන වලින් කොළඹ කොටස් වෙළෙඳ පොළට සක්‍රීය දායකත්වය ලබා ගැනීම - මෙමගින් කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයතනගත සහභාගීත්වය ඉහළ නැංවේ.
06.කොළඹ කොටස් වෙළෙඳ පොළ විධිමත් වර්ධනයකට තුඩුදෙන සියළුම නියාමන නීති රීති හා රෙගුලාසි වලට අපගේ පූර්ණ කැමැත්ත හා අනුමැතිය පළ කර සිටින බවත් එහි යම් ආකාරයක අකටයුතුකම් හා වැරදි චර්යාත්මක ක්‍රියා සිදුවේ නම් ඒවා මැඩලීමට අවශ්‍ය පූර්ණ සහාය අදාල නියාමන බළධාරීන්ට ලබාදෙන බවත් කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය අවධාරණය කර සිටින බවද සඳහන්ය.
මේ අනුව, ඉදිරියේදී ජාත්‍යන්තර න්‍යාය හා පරිචයන් අනුව යමින් තම සංගමයේ සියළු සාමාජිකයින් වෙනුවෙන් විධිමත් අචාර්යය ධර්ම සංග්‍රහයක් හඳුන්වා දීමටද අප පියවර ගනිමින් සිටින බවද මෙම සංගමය කියා තිබේ.[u]