සාර්ව ආර්ථික ස්ථායීතාවය රැක ගනිමින් මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීමේ අවකාශයක් මේ වනවිට ඇතිවී තිබෙන බව පවසමින් වෙළඳ පොළ පොලී අනුපාත තීරණය වීමට බලපාන සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දැමීමට මහ බැංකුව කටයුතු කර තිබේ.
මේ අනුව, මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පදනම් අංක 25 කින් පහළ දැමීමට කටයුතු කර තිබෙන අතර ප්‍රති මිලදී ගැනීමේ පොලී අනුපාතය සියයට 7.50 ක් දක්වාත් ප්‍රතිවිකුණුම් පොලී අනුපාතය සියයට 9.50 ක් දක්වාත් මෙම සංශෝධනය සමග පහළ දමා ඇත.
මහ බැංකුව විසින් මෙම තීරණය ගෙන තිබෙන්නේ 2012 දෙසැම්බර් මාසයට අදාළව මුදල් මණ්ඩලය රැස්වී ගත් මූල්‍ය ප්‍රතිපත්ති විවරණයට අදාළවයි.
මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළේ ඇයි ?
පසුගිය කාලයේදී පොලී අනුපාත අඩු මට්ටමක තිබියදී වාණිජ බැංකු වලින් ගලාගිය ණය අති විශාල ලෙස වැඩිවූ අවස්ථාවේදී එය විනිමය අනුපාතය මත පීඩනයක් ඇති කළේය.
එවිට මහ බැංකුව පොලී අනුපාතය වැඩිකර එම පීඩනයෙන් මිදීමට කටයුතු නොකළ අතර විනිමය අනුපාතය මත ඇතිවූ පීඩනයද මග හරවා ගත්තේ වෙළඳ පොළ සිද්ධාන්ත වලට පටහැනිව කෘත්‍රිම ලෙසිනි.
එනම්, මහ බැංකුව විසින් විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබා නොදී විදේශ සංචිත විකුණමින් කෘත්‍රිම ලෙස එම පීඩනයෙන් මිදුණි.
කෙසේවෙතත්, විදේශ සංචිතය දිය වෙමින් යනවිට මාධ්‍ය ඇතුළු විවිධ අංශ වලින් නැගුණු චෝදනා හමුවේ අවසානයේදී විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබාදීමටත්, ණය ගලායාම අඩු කිරීම සඳහා පොලී අනුපාත වැඩි කිරීමටත් සිදුවිය.
මීට අමතරව, වාණිජ බැංකු වලින් ගලායන ණය ප්‍රමාණය තවත් පාලනය කිරීම සඳහා මහ බැංකුව විසින් ණය සීමාවක්ද පැනවීය.
ආර්ථික කටයුතු හැකිලීම
ණය ගලායාම අඩුවීමත් ඒ තුළින් සිදුවන ආර්ථික කටයුතු අවම වීමත් නිසා මෙරට ආර්ථික ක්‍රියාකාරකම් ඉන් පසුව හැකිලුණි. 2012 වසර වෙනුවෙන් සියයට 7.2 ක ආර්ථික වර්ධනයක් ලබාගනු ඇතැයි මහ බැංකුව මුලින් පුරෝකතනය කර තිබුණත් මෙම වාතාවරණය නිසා එය සියයට 6.8 ක් දක්වා පහළ දැමීමට මහ බැංකුවට සිදුවුණි.
මේ අතර, අපනයන පහත බැසීම හා ආනයන අඩුවීම නිසා විදේශ වෙළඳාමද 2012 වසරේදී පෙන්නුම් කළේ පසුගාමී ප්‍රවණතාවයකි.
පොලී අනුපාත යළි අඩුකළේ ඇයි ?
මහ බැංකුව පවසන්නේ මේ වසරේ මුල් කාලයේදී ගත් ශක්තිමත් ප්‍රතිපත්ති තීන්දු නිසා 2011 අවසාන කාලයේදී ශ්‍රී ලාංකේය ආර්ථිකයේ ඇති වෙමින් තිබූ අසමතුලිතතාවය නැතිකර දමමින් අධික ණය ගලායාම සහ විශාල ආනයන වියදම පාලනය කර ගැනීමට හැකිවූ බවයි.
මෙම ප්‍රතිපත්ති තුළින් අනාගතයේදී ඇතිවිය හැකි ඉල්ලුම් පීඩනය අඩුකර ගෙවුම් ශේෂ හිඟය සහ උද්ධමනය අඩුකර ගැනීමේ මහ බැංකු ඉලක්කද සඵල වී ඇත.
මහ බැංකුව පවසන්නේ 2011 අප්‍රේල් මාසයේදී සියයට 22.9 ක් දක්වා අති දැවැන්ත ලෙස ඉහළ ගිය පුළුල් මුදල් සැපයුම 2012 ඔක්තෝම්බර් මාසය වනවිට සියයට 18.2 ක් දක්වා පහළ බැස තිබෙන බවත් වාණිජ බැංකු විසින් පුද්ගලික අංශයට ලබාදුන් ණය වර්ධනය 2012 වසර අවසන් වනවිට සියයට 19 ක් දක්වා අඩුවිය හැකි බවයි.
වාණිජ බැංකු විසින් පුද්ගලික අංශයට ලබාදුන් ණය වර්ධනය 2012 මාර්තු මාසයට පෙර සියයට 35 කට වඩා වැඩිවිය.
බැංකුව පවසා තිබෙන්නේ මෙවැනි තත්ත්වයක් තුළ වාණිජ බැංකු මත මහ බැංකුව පැනවූ ණය සීමාවට වඩා සත්‍ය වශයෙන් පුද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය අඩුවීම නිසා තවදුරටත් ණය ලබාදීමේ හැකියාවක් වාණිජ බැංකු වලට ඇතිවී තිබෙන බවයි.
විශාල වාණිජ බැංකු සතුව ණය ලබාදීමට රුපියල් බිලියන 90 ක පමණ හැකියාවක් තවමත් ඉතිරිව තිබෙන බව මීට පෙර අවස්ථාවක මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා අප සමග පැවසීය.
පොලී අනුපාත අඩු කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙන්නේ මෙවැනි පසුබිමක් මතයි.
මේ නිසා, ඉදිරියේදී වාණිජ බැංකුවල පොලී අනුපාත මෙම ප්‍රමාණ වලින් අඩුවනු ඇති අතර ආර්ථික ක්‍රියාකාරකම් යම් ප්‍රමාණයකින් පුළුල් වී එය ආර්ථික වර්ධනයට හිතකර ලෙස බලපානු ඇතැයි යන්න මහ බැංකුවේ අපේක්ෂාවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2131556615