මෙරට විදේශ සංචිත වලින් කොටසක් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් අලාභයක් වාර්තා කළත් එම අලාභය විදේශ සංචිත වෙනත් තැන්වල ආයෝජනය කර ලැබූ ලාභයෙන් පහසුවෙන් පියවා දැමිය හැකිබව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ග්‍රීක බැඳුම්කරවල විදේශ සංචිත ආයෝජනය කිරීමෙන් සිදූවූ පාඩුව සම්බන්ධයෙන් එල්ලවී තිබෙන චෝදනා වලට පිළිතුරු දෙමින් මහ බැංකුව මේ බව සඳහන් කර තිබෙන අතර යුරෝපීය ආයෝජන වලින් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කර ඇත්තේ ඉතාමත් සුළු ප්‍රතිශතයක් යැයි සඳහන් කර ඇත.
විදේශ සංචිතය ආයෝජනය කිරීම මගින් 2010 දී ලබා තිබෙන ලාභය ඩොලර් මිලියන 341.2 ක් වන අතර ඩොලර් මිලියන 5537 ක සංචිත මෙහිදී ආයෝජනය කර තිබේ.
ගිය වසරේදී ඩොලර් මිලියන 6557 සංචිත ආයෝජනය කිරීම මගින් උපයා තිබෙන ලාභය ඩොලර් මිලියන 430.2 කි.
මේ අනුව, විදේශ සංචිත වලින් ලාභ ඉපැයුම් ප්‍රතිශතය 2010 දී සියයට 6.16 ක් බවත් එය ගිය වසරේදී සියයට 6.56 ක් බවත් පවසා තිබෙන මහ බැංකුව වැඩිදුරටත් කියා තිබෙන්නේ සාමාන්‍ය ෆෙඩරල් සංචිත අනුපාතය ගිය වසරේ හා මේ වසරේදී සියයට 0.25 ක අගයක තිබුණු බවයි.
2006 සිට 2011 දක්වා විදේශ සංචිත වලින් ඉපයූ සමස්ත ලාභය ඩොලර් මිලියන 1243 ක් බවත් එය සැලකිය යුතු ලාභ වැඩිවීමක් බවත් බැංකුව සඳහන් කර තිබේ.
ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය
ග්‍රීක ආයෝජනයන් කරන අවස්ථාවේදී AAA ශ්‍රේණිය ඇති යුරෝපීය මූල්‍ය ස්ථාවරත්ව අරමුදලේ පිටුබලය ග්‍රීසියට තිබුණු බැවින් ග‍්‍රීසියෙහි ශ්‍රේණිගත කිරීම ආයෝජන මට්ටමට වඩා අඩු මට්ටමක පැවතියද ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය ඉතා යහපත් බව පිළිගැණුනු බව මහ බැංකුව කියයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1100159466