නිකුත් වී තිබෙන නවතම දත්ත වලට අනුව පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට ක්‍රියාත්මක වාණිජ බැංකු විසින් පුද්ගලික අංශයට රුපියල් බිලියන 24.1 ක ණය ලබාදෙන විට රාජ්‍ය අංශය බැංකු ක්‍රමයෙන් රුපියල් බිලියන 18.8 ක ණය ලබාගෙන තිබේ.
මේ අනුව, පුද්ගලික අංශයට බැංකු ක්‍රමයෙන් ගලාගිය ණය ප්‍රමාණය 2012 නොවැම්බර් මාසයේදී ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 20.7 කින් වර්ධනය වී රුපියල් බිලියන 2,348.5 ක් දක්වා ඉහළ නැග තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත අනාවරණය කරයි.
මෙහිදී, රුපියල් ණය සියයට 25.8 කින් රුපියල් බිලියන 2,157.8 දක්වා වර්ධනය වී තිබෙන අතර ඔක්තෝම්බර් මාසයේදී තිබූ රුපියල් බිලියන 192.5 ක් වටිනා ඩොලර් ණය ප්‍රමාණය රුපියල් බිලියන 190.7 ක් දක්වා පහළ වැටී තිබීම කැපී පෙනේ.
2012 ඔක්තෝම්බර් මාසයේදී පුද්ගලික ව්‍යාපාර විසින් බැංකු ක්‍රමයෙන් රුපියල් බිලියන 25.9 ක ණය ලබාගෙන තිබුණු අතර රජය ලබාගත් ශුද්ධ ණය ප්‍රමාණය පහළ වැටී තිබුණි.
කෙසේවෙතත්, නොවැම්බර් මාසයේදී රජය බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 18.8 කින් වර්ධනය විය.
මේ අනුව, 2012 නොවැම්බර් මාසයේදී රාජ්‍ය ව්‍යවසායන් විසින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 6.5 කින් රුපියල් බිලියන 261.1 ක් දක්වා ඉහළ නැග තිබෙන අතර රුපියල් ණය ප්‍රමාණය රුපියල් බිලියන 184.6 ක සිට රුපියල් බිලියන 188.8 ක් දක්වා වර්ධනය වී තිබේ.
මේ අතර, මහ බැංකුව විසින් මුදල් අච්චු ගසමින් රජයට ලබාදුන් ණය ප්‍රමාණයද රුපියල් බිලියන 10 කින් රුපියල් බිලියන 330 ක් දක්වා ඉහළ නැග ඇත.
බැංකු මත ණයදීමේ සීමාවක් මහ බැංකුව විසින් පනවා තිබුණත් විශාල බැංකු වලට අදාළ සීමාව යටතේ තවත් ණයදීමට අවකාශ ඇතැයි පවසමින් මහ බැංකුව විසින් පසුගියදා සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දැමීමට කටයුතු කළේය.
මේ අනුව, මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පසුගියදා පැවසුවේ වසර මැද වනවිට තවදුරටත් පොලී අනුපාත පහළ යනු ඇති බවයි.
එනම්, පොලී අඩුවන විට බැංකු ක්‍රමයෙන් ගලායන ණය ප්‍රමාණය තවදුරටත් වැඩිවීමට හැකියාව තිබෙන අතර ආර්ථික කටයුතු තිබෙනවාට වඩා ප්‍රසාරණය වනු ඇත.
මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව මේ වසරේදී ගිය වසරට වඩා වැඩි සියයට 7.5 ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=61918826