හොරකම සිදු කිරිමට පෙර එයට විරුද්ධ වියහැකි ව සිටි ජ්‍යෙෂ්ඨතම නිළ්ධාරියකු මාරු කර අත්දැකීම් නැති කාන්තාවක් පත්කර ගෙන ඇති බව හෙලිවේ.
News Item :
ශ්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් සිදුකෙරෙන රාජකාරි කටයුතු ගැන දැනීමක් හා අත්දැකීම් නැති තමා හදිසියේම එහි ප්‍රධානියා ලෙස පත්කර ඇති බව දැන ගන්නට ලැබී විශ්මයට පත්වූ බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධිකාරි දීපා සෙනෙවිරත්න මහත්මිය ඊයේ (6 දා) මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වංචාව ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවැසුවාය.
තමා එම තනතුරට පත් කරනු ඇතැයි කිසි දිනෙක අපේක්‍ෂා නොකළ බවත් තනතුර භාර ගැනීමට ඇති අකමැත්ත පළකොට වෙනත් අංශයකට මාරුවක් ලබා ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ බවද සෙනවිරත්න මහත්මිය කීවාය.
එවකට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරිවරයකුව සිටි ආචාර්ය ආසිම් මහතා ඉන් ඉවත් කිරීමට තමාට අවශ්‍යවී තිබෙන බව අර්ජුන මහේන්ද්‍රන් මහතා තමාට පැවසූ බවත් ඒ නිසා තනතුරේ දිගටම රැඳී සිටින ලෙස ඔහු තමාට දැන්වූ බවත් එම කාරණාව කිසිවකුට හෙළි නොකර රහසක් වශයෙන් තබා ගන්නා ලෙස ඔහු තමාට එම අවස්‌ථාවේදී පැවසූ බවත් දීපා සෙනෙවිරත්න මහත්මිය කොමිසම හමුවේ පැවැසුවාය.
රු. බිලියන 10 කට අධික ලංසු පිළිගැනීමේ ම තීරණය ක්‍රියාත්මක කරන ලෙස තමා වෙත තරයේ උපදෙස් දුන් අධිපතිවරයා එහිදී තමා දෙසට හැරී d#### යන වචන භාවිතා කරමින් එම තීරණය ක්‍රියාත්මක කරන ලෙස තමාට නියෝග කළ බවද ඇය කියා සිටියාය.
අතිරේක රාජ්‍ය ණය අධිකාරි ආසිම් මහතා එම තීරණයේ අහිතකර බව සිව් වතාවක් පෙන්වා දුන්නත් පළක් නොවූ බවද නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනා නිහඬව බලා සිටි බවද ඇය කියා සිටියාය.
නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු සහ තම දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ මේ තීරණය පිළිගන්නා ලෙස තමාට තරයේ උපදෙස් දුන්විට එම තීරණය ක්‍රියාත්මක කරනවා හැරෙන්නට තමාට වෙනත් විකල්පයක් නොතිබූ බවද ඇය කීවාය.
ආචාර්ය ආසිම් මහතා රාජ්‍ය ණය අංශය ගැන විශේෂ දැනුමක් මෙන්ම උසස් අධ්‍යාපනයක් ලබාගෙන සිටින අයෙකු බවත් ඔහු මහ බැංකුවට ඉතා වටිනා සම්පතක් බවත් කියා සිටියාය.