TFC Chair person is cheating poor investors, Must blacklist these companies among retail investors!!!!!
NSB also same - Big investors influance NSB management through pilitical power!!!!!!!!!!! Depositors should work away
Source - lanka business news
http://www.lankabusinessnews.com/12.04.April/137.NSB-TFC.html
මහදවල් කළ කොටස් මං(කොල්ලය)ගල්‍යය හෙවත් NSB-TFC කොටස් ජාවාරම
01-May-2012
පසුගිය අප්‍රේල් 27 වැනි සිකුරාදා කොළඹ කොටස් වෙළෙඳපොළෙ හි සිදුවූ එක්තරා කොටස් ගනුදෙනුවක් මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ. මෙම ගනුදෙනුවට අනුව ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම වන ‘‘ද ෆිනෑන්ස්“ සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 13.02% ක් හෙවත් කොටස් 7,863,362 ක්, ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් මිල දී ගෙන ඇත. එ සඳහා වන සම්පූර්ණ ආයෝජන වටිනාම රු. මිලියන 391 ඉක්මවේ.
මූලික වශයෙන් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පැන නැගී ඇති මතභේදාත්මක තත්ත්වය නම් ගනුදෙනුව සිදු වූ මිල යි. එතෙක් වෙළෙපොළේ රු. 30 ක පමණ මිලකට ගනුදෙනු වූ ද ෆිනෑන්ස් සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටසක්, රු. 50 ක් දක්වා වූ ඉහළ මිලකට, මිල දී ගැනීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙහිදී උනන්දු වී තිබිණ. වෙළෙඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේගයන් අනුව තීරණය වී ඇති මිලට වඩා 66% ක පමණ ඉහළ වටිනාකමක්, ද ෆිනෑන්ස් සමාගමේ කොටසක් වෙනුවෙන් ලබා දීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙතරම් උනන්දු වූයේ ඇයි?
අනෙක් අතට ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙහි දී ප්‍රධාන වශයෙන් මිල දී ගෙන ඇත්තේ 2011 දෙසැම්බර් 31 අතුරු මූල්‍ය වාර්තාවට අනුව, ද ෆිනෑන්ස් සමාගමේ විශාලතම කොටස්කරුවන් අතරින් හත්වන සහ අටවෙනි තැන ගන්නා ABC මාධ්‍ය ජාලියේ හිමිකරු රේනෝ සිල්වා සහ තැප්‍රොබේන් කොටස් තැරුව්කාර සමාගමේ ප්‍රධාන විධායක ඩිනාල් විජේමාන්න මහත්වරුන් සතුවු මිලියන 2.9 බැගින් වූ කොටස් ප්‍රමාණයන්ය. මීට අමතරව ද ෆිනෑන්ස් සමාගමේ තවත් මුල් පෙළේ කොටස්කරුවන් කිහිප දෙනෙකුම සතුවූ කොටස් ප්‍රමාණයන් ද මෙහිදී විසින් මිලට ගනු ලැබීය. තවද ඒ වන විට රු. 30 සිට රු. 45 දක්වා මිල ගණන්වලට වෙළෙඳපොළ තුළ ගනුදෙනු වූ කොටස් සුළු ප්‍රමාණයක් ද NSB ය මිල දී ගත්තේය.
සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 9.6% කට හිමිකම් කියූ රේනෝ සහ ඩිනාල් දෙදෙනා 2011 ඔක්තෝබර් 05 වැනිදා අධ්‍යක්ෂ මණ්ඩල හමුවකින් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි, ද ෆිනෑන්ස් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරුන් වශයෙන් ද පත්වීම් ලැබ තිබේ. මොවුන් දෙදෙනා ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිල දී ගෙන ඇත්තේ 2011/2012 මූල්‍ය වර්ෂයේ දෙවන කාර්තුවේ දීය. එබැවින් වසරකටත් අඩු කාලයක දී, ද ෆිනෑන්ස් සමාගමේ තමන් සතු කොටස් විකුණා සුපිරි ප්‍රාග්ධන ලාභයක් ඉපයීමට මේ දෙපළ සමත් වී තිබේ. විශේෂයෙන් කොටස් වෙළෙඳපොළ සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින මෙවන් වකවානුවක දී පවා කොටස් වෙළෙඳපොළෙන් ලාභ ලැබීමේ හැකියාව පිළිබඳ තම ආදර්ශය, මෙමගින් ඔවුන් කොටස් වෙළෙඳපොළ ආයෝජකයින් වෙත කියා දී තිබේ.
මෙම ගනුදෙනුවේ දී විකුණුම් පාර්ශවය එසේ වන කල, ගැණුම් පාර්ශවය වන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවයි. එය රාජ්‍ය පාලිත බැංකුවකි. එබැවින් මෙවැනි ගනුදෙනුවක්, ශ්‍රී ලංකා මහබැංකුවේ අනුමැතිය නොමැතිව කිසිසේත්ම කළ හැකි නොවේ. තවද මෙම ගනුදෙනුව සියළුම කොටස් වෙළෙඳපොළ නීති රෙගුලාසි, සම්මතයන්ට අනුකූලව සිදුකෙරුණකි. එම ගනුදෙනුව කිසිසේත්ම නීතිවිරෝධී එකක් නොවේ. අනෙක් අතට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා වන්නේ ප්‍රදීප් කාරියවසම් මහතාය. ඔහු මෙරට නීති පද්ධතියෙහි බලගතුම පුද්ගලයා වන අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියායි. එබැවින් කිසිදු ආකාරයේ නීති විරෝධී කටයුත්තක් ඔහු විසින් සිදුනොකරන බව සක්සුදක් සේ පැහැදිලිය. එම නිසා මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ඇත්තේ සදාචාරාත්මක ගැටළුවකි.
පළමු ගැටළුව නම් පවතින වෙළෙඳපොළ මිල ට වඩා 66% ක අතිරේක මුදලක් ගෙවා සමාගමක කොටස් මිල දී ගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව ක්‍රියා කිරීමයි. දෙවැන්න නම් කොටස් මිල දී ගැනීමට තෝරා ගත් සමාගමයි.
ද ෆිනෑන්ස් සමාගම 2011 ජනවාරි 21 වැනි දින මහජන කොටස් නිකුතුවක් සඳහා ජනතාව වෙත ආරාධනා කළේය. එහිදී සාමාන්‍ය කොටස් මිලියන 40 ක් ජනතාව වෙනුවෙන් පිරිනැමුණු අතර ජනවාරි 24 වැනිදා වන විටත් මේ සඳහා අයදුම්පත් ලැබී තිබුණේ, කොටස් මිලියන 22 කට මදක් වැඩි ප්‍රමාණයකට පමණි. මෙම කාලය කොළඹ කොටස් වෙළෙඳපොළේ ස්වර්ණමය අවධිය වූ අතර කුමන සමාගම මහජන නිකුතුවක් වෙනුවෙන් ජනතාව වෙත ආරාධනා කළත් පළමු දිනයේ දීම එය අධිදායකත්වයක් (Oversubscribe) ලැබෙන තත්ත්වයක් එකල දිස් විය. එහෙත් ද ෆිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් තත්ත්වය එසේ නොවීය.
කෙසේ වෙතත් අවසානයේ දී මේ සඳහා කොටස් මිලියන 43.063 ක් වෙනුවෙන් අයදුම්පත් කැඳවා ගැනීමට සමාගම සමත් වූ අතර මින් ඉහළ දායකත්වයක් ලබා දී තිබුණේ මෙරට මුල්පෙළේ ධනවතෙකු වන ආචාර්ය සෙන්තිල්වේල් මහතාය. ඔහු සමාගම වෙනුවෙන් රු. මිලියන 500 ක් ආයෝජනය කළ බව පසුව හෙළිවිය.
2011 මාර්තු 01 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී, ද ෆිනෑන්ස් සමාගමේ සභාපති ප්‍රීති ජයවර්ධන මහතා මෙසේ කියා සිටියේය. ‘‘ද ෆිනෑන්ස් සමාගම යනු මෙරට පැරණිතම මූල්‍ය සමාගමයි. අදවන විට ද ෆිනෑන්ස් සමාගම ඉතා අසීරු දුෂ්කර කාලපරිච්ඡේදයක් අවසන් කොට නව ගමනක ආරම්භය සනිටුහන් කරන අවස්ථාවකට පැමිණ සිටිනවා. අපේ ඉලක්කය ඉතා නුදුරු අනාගතයේදීම මෙරට පැරණිතම මූල්‍ය සමාගම මෙරට හොඳම මූල්‍ය සමාගම බවට පත්කිරීමයි. කොටස් නිකුතුව හරහා ලද සුවිශාල සාර්ථකත්වය, ප‍්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකු වෙතින් ලබන සහයෝගය, ඒ වගේම කිසිදා නොනැසුණු මහජන විශ්වාසය ඒ සඳහා අපට බොහෝ සේ උපකාරී වනු ඇති. මමත් නව අධ්‍යක්ෂ මණ්ඩලයත් ඒ සඳහා අවශ්‍ය සියළු ක‍්‍රියාමාර්ග ගැනීමට අධිෂ්ඨානයෙන් යුතුව ක‍්‍රියා කරනවා”
එසේම එම මාධ්‍ය හමුවේ දී සභාපති ප්‍රීති ජයවර්ධන, ආචාර්ය සෙන්තිල්වේල් මහතා මුලසුනේ තබාගෙන පම්පෝරි ගැසුවේ, ද ෆිනෑන්ස් සමාගම ගිලෙන නැවක් නම් සෙන්තිල්වේල් වැනි මහාපරිමාණ ආයෝජකයෙකු කිසිවිටෙකත් ඊට ගොඩ නොවන බව පවසමිනි. නුදුරේ දීම ද ෆිනෑන්ස් සමාගම මෙරට අංක එකේ මූල්‍ය සමාගම බවට පත්කරන බවටත්, අද (2011 මාර්තු 01) සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ කොටස් මිල තිබෙන තත්ත්වයට, ද ෆිනෑන්ස් සමාගමේ කොටසක මිලත් ගෙන එන බවටත් ප්‍රීති ජයවර්ධන මහතා එහිදී කියා සිටියේය. එම වකවානුවේ දී සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ කොටසක් ගනුදෙනු වූයේ රු. 1000 කට ආසන්න මිලකටය. එහි දී ඔහු ව්‍යංගාර්ථයෙන් කියා සිටියේ ද ෆිනෑනස් සමාගමේ කොටසක මිලත් රු. 1000 ක් දක්වා ගෙන යන බවයි.
ද ෆිනෑන්ස් සමාගමේ මූල්‍ය වාර්තා පිරික්සීමේ දී එහි ආයෝජනය කරන්නට පෙර, වරක් නොව කිහිප වරක්ම විමසා බැලිය යුතු කරුණු රැසක් හමුවේ. 2008/09 සමයේ සෙලින්කෝ සමූහයේ ඇති වූ අර්බුදකාරීත්වයත් සමඟින් මේ දක්වා අඛණ්ඩව මූල්‍ය වර්ෂ 3ක් අලාභ ලබා ඇති සමාගමක් ලෙස, ද ෆිනෑන්ස් හැඳින්විය හැකිය. 2010/11 මූල්‍ය වර්ෂය අවසානයේ දී ද ෆිනෑනස් සමාගමේ කොටසක ඉපැයුම දැක්වෙන්නේ සෘණ අගයකි ලෙසිනි. එය සෘණ රු. 87.54 කි. තවද එදිනට එක් සාමාන්‍ය කොටසක් සඳහා පවතින ශුද්ධ වත්කම්වල අගය ද සෘණ අගයක් ලෙස දැක්වෙයි. එය සෘණ රු. 23.65 කි.
එසේම 2011/12 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 තුළ දී යම්තම් රු. මිලියන 15.85 ක ලාභයක් ලබා ගැනීමට ද ෆිනෑන්ස් සමාගම සමත් වී තිබේ. මෙහිදී පළමු කාර්තුවේ දී රු. මිලියන 26.39 ක ලාභයක් හා දෙවන කාර්තුවේ දී රු. මිලියන 6.96 ක ලාභයක් වාර්තා කිරීමට සමාගම සමත් වුව ද තෙවන කාර්තුවේ දී වාර්තා කර ඇත්තේ රු. මිලියන 17.5 ක අලාභයකි. සිව්වන කාර්තුව අවසන් වී මාසයක් ගත වී ඇතත් තවමත් 2011/12 අවසන් කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල නිකුත් වී නොමැත.
2011 දෙසැම්බර් 31 වන විට මාස 9 ක මූල්‍ය වාර්තා අනුව, ද ෆිනෑන්ස් සමාගමේ කොටසක ඉපැයුම (Earning per Share) ශත 10 ක් ලෙසින් සඳහන් වෙයි. මේ අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව රු. 50 ක් ගෙවා මිල දී ගත්තේ කොටසක් සඳහා ශත 10 ක ඉපැයුමක් ලබා දෙන සමාගම් කොටසකි. යම් හෙයිකින් 2011/2012 අවසන් කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල තෙවන කාර්තුව පරිදිම වේ නම් ශත දහයේ ඉපැයුම ද තව අඩු වනු ඇත.
ද ෆිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් පවතින තවත් අවාසනාවන්ත තත්ත්වයක් නම් 2011 දෙසැම්බර් 31 වන විටත් සමාගමේ එක් කොටසක් වෙනුවෙන් පවතින ශුද්ධ වත්කම්වල අගය (Net Assets per Share) සෘණ අගයයක් ගැනීමයි. එහි සඳහන් වන පරිදි එය (-23.57) කි.
මේ අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිල දී ගත්තේ කුමන පදනමකින් ද යන ගැටළුව මතුවේ.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවට, අත්‍යවශ්‍යයෙන්ම, ද ෆිනෑන්ස් සමාගමේ ආයෝජනය කිරීමට වුවමනාවක් තිබුණා නම් එහි ඡන්ද බලය අහිමි කොටස් මිල දී ගැනීමට අවකාශය තිබිණි. ඔවුන් එසේ කළා නම් එය ප්‍රදීප් කාරියවසම් සභාපතිවරයා ඇතුළු NSB ආයෝජන තීරකාදීන්ට මෙලොව මෙන්ම පරලොවද යහපත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලසෙන පුණ්‍ය කර්මයක් වන්නේය. ඒ මේ හේතුව නිසාය.
2011 ජනවාරි මාසයේ දී, ද ෆිනෑන්ස් සමාගමේ සිදු වූ කොටස් නිකුතුවට සමගාමීව එහි තැන්පත්කරුවන්ගේ තැන්පතු (Deposits) කොටස් බවට පරිවර්තනය කිරීමක් ද සිදුවිය. එහෙත් මෙහිදී තැන්පත්කරුවන්ට හිමිවූයේ ඡන්ද බලය අහිමි සාමාන්‍ය කොටස්ය. මේ අනුව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 100 ක් එවකට එහි තැන්පත්කරුවන් වෙනුවෙන් පිරිනැමීය. ඒ කොටසක් සඳහා රු. 20 බැගින් අයකර ගනිමිනි. ඒ අනුව ද ෆිනෑන්ස් සමාගම සිය තැන්පත්කරුවන්ගෙන් කොල්ල කෑ මුදල් ප්‍රමාණය රු. බිලියන 2 කි. නැතහොත් රු. මිලියන 2000 කි. එසේත් නැතිනම් රුපියල් ලක්ෂ විසිදහසකි.
මෙය කොල්ල කෑමක් ලෙස හඳුන්වන්නේ, ද ෆිනෑන්ස් ඡන්ද බලය අහිමි කොටසකට අද පත්ව ඇති ඛේදනීය ඉරණම සලකා බලන විටය. එහි අද වෙළෙඳපොළ වටිනාකම රු. 7.00 ක් පමණ වේ. එනම් නිකුතු මිලට වඩා 65% කින් පමණ අදාළ කොටස පහළ වැටී ඇත. මෙම ඡන්ද බලය හිමි කොටස්, ගනුදෙනු සදහා කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කෙරුණේ 2011 මාර්තු 01 වැනිදාය. අහේතුවකට මෙන් එදා සිට අද දක්වා වසරකට වඩා වැඩි කාලයක් ගත වී ඇතත්, අඩුම තරමින් නිකුත් කළ මිලටවත් ද ෆිනෑන්ස් සමාගමේ ඡන්ද බලය අහිමි කොටස් ගනුදෙනු වී නොමැත. එනම් තැන්පත්කරුවන්ට සිය තැන්පතු මුදල් කොටස් බවට පරිවර්තනය කර දීමෙන් ඔවුන්ගේ තැන්පතු මුදල් ද සමාගම විසින් කොල්ල කා ඇති බවයි. ඔවුන්ට ඒවා නිදහස් කර ගැනීමට කිසිදු අවස්ථාවක් ලැබී නොමැත.
2011 මාර්තු 01 වැනිදා පැවති මාධ්‍ය හමුවේ දී නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව පහත වන්නේ එහි සභාපති ප්‍රීති ජයවර්ධන මහතා කළ ප්‍රකාශයකි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සමාගම සමග රැඳී සිටි තැන්පත්කරුවන්ට ස්තූතිය පළ කරමින් පැවසුවේ සමාගම දැන් ශක්තිමත් මූල්‍ය ස්ථාවරයක පසුවන හෙයින් අවශ්‍ය තැන්පත්කරුවන්ට සිය මුදල් ආපසු ගැනීමට ඉදිරියේදී ඉඩකඩ සළසන බවයි. සමාගම දැන් පවතින ස්ථාවරත්වය හේතුවෙන් සමාගමේ කොටස් මිල ශීඝ‍්‍රයෙන් ඉහළ යන බව පෙන්වාදුන් ඒ මහතා සිය තැන්පත් කොටස් බවට පරිවර්තනය කළ තැන්පත්කරුවන්ට විශාල ලාභයක් ඒ හරහා සිදුවන බව පෙන්වා දුන්නේය.
සභාපතිවරයා එසේ කීවද, තැන්පත්කරුවන්ගේ තැන්පතු කොටස් බවට පරිවර්තනය කිරීමෙන් විශාල ලාභයක් නොව විශාල අලාභයක් නම් සිදුව ඇති බව දැන් ඇස් ඉදිරිපිටම පේන්නට තිබේ. ඔවුන්ගේ තැන්පතු, තැන්පතු ලෙසින්ම සමාගම සතුව තිබුණා නම් එම තැන්පතුකරුවන්ට අදාළ කාලපරිච්ඡේදය තුළ පොළියක් (Interest) ගෙවීමට සමාගමට සිදුවන්නේය. එහෙත් එම බැඳීමෙන් ද, ද ෆිනෑන්ස් සමාගම දැන් ගැලවී ඇත. එසේම රු. බිලියන 2 ක තැන්පතු ආපසු ගෙවීමේ වගකීමෙන් ද, ද ෆිනෑන්ස් සමාගම නිදහස් වී ඇත. අනෙක් අතට ගෙවී ගිය කාලපරිච්ඡේදය වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් ලාභාංශයක් හෝ ගෙවීමට සමාගම ක්‍රියා කර නැත. (සමාවන්න, අලාභ ලබන සමාගමක් කෙසේ නම් ලාභාංශ ගෙවන්න ද ?)
ජාතික ඉතිරිකිරීමේ බැංකුව යනු මෙරට රාජ්‍ය බැංකුවකි. එහි නම අනුවම, ඊට ජාතික වගකීමක් ඇත්තේය. තැන්පතු සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගෙවනුයේ සෙසු පුද්ගලික බැංකු හා මූල්‍ය ආයතන ගෙවන පොළියට වඩා අඩු අගයයකි. එහෙත් මහජනතාව වැඩි පොළී ගෙවන පුද්ගලික බැංකු හෝ මූල්‍ය ආයතන වෙත නොගොස්, තමන් දහඩිය මහන්සියෙන් ඉතුරු කරගත් මුදල් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කිරීමට පෙළඹෙති. ඒ වෙනකක් නිසා නොව, තම තැන්පතුවල සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් පවතින දැඩි විශ්වාසය නිසාය. එහෙත් මහජන මුදල්වලින් මෙලෙස ගේම් ගැසීමට NSB ප්‍රධානීන් කටයුතු කරයි, එහි ප්‍රතිඵල ඉදිරියේ දී වඩ වඩාත් භයානක විය හැකිය.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව කළ මෙම රු. මිලියන 391 ආයෝජනය වෙනුවෙන් ප්‍රතිලාභයක් තව අවුරුදු ගණනාවකටවත් ලැබේ යැයි අනුමාන කළ නොහැක. තව අවුරුදු දෙක තුනකටවත්, ද ෆිනෑන්ස් සමාගමෙන් ලාභාංශ ගෙවීමක් බලාපොරොත්තු විය නොහැකිය. අඩුම තරමින් මෙම ආයෝජනයෙන් 10% ක හෝ ප්‍රතිලාභයක් ලැබීමට නම්, ද ෆිනෑන්ස් කොටසක් රු. 55 කට වත් අලෙවි කිරීමට NSB යට සිදුවනු ඇත. වත්මන් කොටස් වෙළෙඳපොළේ දිශානතිය අනුව, ද ෆිනෑන්ස් කොටසක් තව වසර කිහිපයකින් පසු හෝ රු. 55 සීමාව පසුකරනු ඇතැයි බලාපොරොත්තු වීම විහිළුවකි.
පසුගිය අප්‍රේල් 26 වැනිදා දිනය අවසන් වන විට රු. 30 ක්ව පැවති ද ෆිනෑන්ස් සමාගමේ කොටසක මිල අප්‍රේල් 27 වැනිදා දිනය අවසන් වූයේ රු. 44 ක් ලෙසිනි. එය පෙර දිනයට සාපේක්ෂව 46.67% ක ඉහළ යාමකි. මෙය හුදෙක් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ, ද ෆිනෑන්ස් කොටස් ජාවාරම අරඹයාම කෘතිම ලෙස මිල ඉහළ ගෙන යාමක් ලෙස දැක්විය හැක්කේ ඊට පසු දින, එනම් අප්‍රේල් 30 වැනි දින ද ෆිනෑන්ස් කොටස් මිලට අත් වූ ඉරණම සලකන විටය. එදින දවස අවසන් වූයේ, ද ෆිනෑන්ස් කොටසක වෙළෙඳපොළ මිල රු. 34.40 ක් ලෙසින් සටහන් වෙමිනි. එය පෙර දිනය හා සසඳන කල 22% ක කඩා වැටීමකි.
ගත වී ඇත්තේ එක් දිනයක් පමණි. ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීම වෙනුවෙන් වැය කළ මුදල රු. මිලියන 391 කි. එහෙත් එක් දවසකට පසු එම ආයෝජනයේ වටිනාකම රු. මිලියන 270 දක්වා පහළ වැටී තිබේ. එනම් එක දවසක් ඇතුළත දී, NSB ය කළ ආයෝජනයෙහි වටිනාකම 30% කින් පහළ බැස ඇති බවයි. මේ අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇති මහජන තැන්පතු සම්බන්ධයෙන් පවතින්නේ ද අනාරක්ෂිත තත්ත්වයකි. ඒ අදාළ ප්‍රතිආයෝජනයන් හි ඇති අඥානභාවය හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් කරුණු පිරික්සීමට කොටස් වෙළෙඳපොළ නියාමන අධිකාරිය වන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම ඉදිරියේ දී පියවර ගනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු. එහි වත්මන් වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දිසාබණ්ඩාර මහතා මෙවැනි ජාවාරම්වලට එරෙහිව "වැඩ බලන්නෙකු" නොවී වැඩ කරන්නෙකු බවට පත්වේවා යන්න අපේ පැතුමයි.