රජයේ උපාය මාර්ගික ආයෝජන නීතිය යටතේ ගාලු මුවදොර හෝටලයක් ඇතුළු මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යන ඉන්දීය ITC සමාගමට බදු සහන රැසක් ලබාදෙන බව හෙළිවේ.
රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් මගින් මෙම කරුණු අනාවරණය වේ.
ITC සමාගමට අනුබද්ධ Welcome Hotels Lanka (Pvt) Ltd නැමති අළුතින් ආරම්භ කළ සමාගම විසින් ගාලු මුවදොර අසලින් අක්කර 05 ක රජයේ ඉඩමක් වසර 99 බදු පදනම යටතේ ලබාගැනීමට ඩොලර් මිලියන 73.5 ක මුදල් දැනටමත් ගෙවා තිබෙන අතර සමාගම ඩොලර් මිලියන 140 ක් මාස 60 ක් තුළ සිදුකිරීමට සැලසුම් කර තිබෙන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ.
ලාභ ලබන පළමු වසරේ සිට හෝ මෙහෙයුම් කටයුතු ආරම්භ කර වසර තුනකින් පසුව හෝ ආරම්භ වන පරිදි වසර දහයක බදු සහන කාලයක් සමාගමට රජය විසින් ලබාදී තිබෙන අතර හෝටල් සඳහා අයකරන බද්දෙන් අඩක් හෝ සියයට 06 ක් (මේ දෙකින් අඩුම එක) වසර 15 ක් නිදහස් කිරීමට එකඟවී ඇත. මීට අමතරව, විදේශීය සේවකයින් 20 දෙනෙකු දක්වා ඔවුන් උපයන ආදායම් බදු වලින් වසර පහක් නිදහස් කිරීමට එකඟ වී ඇති අතර ප්‍රාග්ධන වියදම් ලබාගන්නා විදේශීය ණය පොලී, උපදේශකයින්ගේ තාක්ෂණික ගාස්තු, කළමනාකරණ ගාස්තු ආදායමෙන් සියයට 03 ක් දක්වා, අලෙවිකරණ ගාස්තු ආදායමෙන් සියයට 1.5 ක් දක්වා රඳවා ගැනීමේ බද්දෙන් (withholding tax) නිදහස්ය.
එසේම, දිරිගන්වන කළමනාකරණ ගාස්තු දළ ලාභයෙන් සියයට 10 ක් දක්වා රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර තිබෙන අතර ITC මධ්‍යම වෙන්කර ගැනීමේ පද්ධතියෙන් කාමර වෙන්කිරීමේ ගාස්තු හෝ වෙන්කිරීමකින් ඩොලර් 5-6 ක අගයක් බදු වලින් නිදහස් බව සඳහන්ය.
ආනයනය කරන හා දේශීය වශයෙන් මිලදී ගන්නා ව්‍යාපෘතියට අදාළ භාණ්ඩ හා සේවා අගය එකතු කිරීමේ බදු, වරාය හා ගුවන් තොටුපොළ බදු හා රේගු බදු වලින් නිදහස් කර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=859424704