වාහන බදු දැවැන්තව ඉහළ දැමීමේ ආදීනව පෙන්නුම් කරමින් ගෙවුණු සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි වූ මෝටර් රථ ප්‍රමාණය 2011 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 75 කින් අඩුවී 1,072 ක්වී තිබෙන බව අනාවරණය වේ.
JB Securities කොටස් තැරැව්කාර සමාගම විසින් විශ්ලේෂණය කර තිබෙන දත්ත වාර්තාවකින් මේ බව හෙළිකර තිබෙන අතර 2012 සැප්තැම්බර් වලදී මෙරට ලියාපදිංචි වූ සමස්ත වාහන ප්‍රමාණය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 45 කින් අඩුවී 24,478 ක් දක්වා පහළ ගොස් තිබේ.
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන අදාළ දත්ත විශ්ලේෂණය කරමින් මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙන අතර 2012 සැප්තැම්බර් මාසයේදී පාවිච්චි නොකළ වාහන ලියාපදිංචිය සියයට 75.4 කින් 643 ක් දක්වාත් පාවිච්චි කළ වාහන ලියාපදිංචිය සියයට 75.3 කින් 429 ක් දක්වාත් අඩුවී තිබෙන බව සඳහන්ය.
පසුගියදා හෙළිදරව් වූ කරුණක් වූයේ සමහර වාහන ආනයන කරුවන් ගෙන්වූ වාහන වලින් කොටසක් අපනයනය කිරීමට රජය අවස්ථාව ලබාදී තිබෙන බවත් හෙට අනිද්දා එළි දැක්වීමට නියමිත අයවැය මගින් වාහන බදු අඩු කිරීමක් නොකරන බවයි.
යතුරුපැදි, ත්‍රි රෝද රථ, ට්‍රක් රථ, ඇතුළුව සමස්ත වාහන ආනයනය ගෙවුණු සැප්තැම්බර් වලදී සියයට 45.3 කින් අඩුවී 24,478 ක් වෙද්දී පාවිච්චි කළ වාහන අලෙවිය සියයට 56.8 කින් අඩුවී 1,928 ක්වී තිබේ.
ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන විසින් ලබාගත් ණය කන්දරාව වැඩිවීමෙන් විදේශ විනිමය මත ඇතිවූ පීඩනය හමුවේ රුපියල බාල්දු වෙමින් යනවිට රජය ගැසට් නිවේදනයක් මගින් පසුගියදා වාහන බදු අති විශාල ලෙස වැඩි කිරීමට කටයුතු කළේය.
ජනතාවගේ කරමතින් පාලනයට පැමිණි පාලකයින් බදු රහිත වාහන සැප භුක්ති විඳින විට බදු ගෙවමින් රටේ උන්නතියට උරදෙන සාමාන්‍යය ජනතාව මත තව තවත් බදුබර පැටවීම සාධාරණදැයි තර්ක කළ හැකිය.
මෙම තර්කයට තවත් ශක්තියක් ලබාදෙන්නේ රාජ්‍ය සේවකයින්ටත් වාහන සඳහා බදු සහන ලැබීමයි.
පසුගියදා අනාවරණය වූ ඉතාමත් වැදගත් කාරණාවක් වූයේ වාහන බදු වැඩිකිරීම නිසා මිලදී ගැනීම විශාල වශයෙන් අඩුවූයේ සාමාන්‍ය මිනිසුන් මිලදී ගන්නා කුඩා මෝටර් රථ කාණ්ඩයේ බවයි.
එනම්, ඉන්දියානු අල්ටෝ මෝටර් රථ ලියාපදිංචිය එක්තරා අවස්ථාවක සියයට 94 කින් පහළ ගිය අතර වසරකට පෙර මාසයකදී මෝටර් රථ 804 ක් විකිණෙන විට බදු වැඩි කිරීමෙන් පසුව මාසයකට අලෙවි වූයේ එම මෝටර් රථ 45 ක් වැනි ප්රමාණයකි.
2012 සැප්තැම්බර් මාසයේදී සුඛෝපභෝගී Mercedes, BMW හා Audi රථ අලෙවිය සියයට 07 කින් වැඩිවී තිබීම විවාදයට භාජනය කළ යුතු කාරණාවකි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=716961905