ආර්ථික ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව විමර්ශනයේ යෙදෙන පාත්ෆයින්ඩර් පදනම මෙහිදී සඳහන් කර තිබෙන්නේ දින සියයේ වැඩපිවෙළෙහි ඇතුළත් පොරොන්දු විෂයෙහි පමණක් අවධානය යොමු කළත් ඉන්ධන බද්ද ඉවත් කිරීම (වාර්ෂිකව රුපියල් බිලියන 40 ක් අහිමි වීමකි) හා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සඳහා වූ බදු පහත හෙළීම තුළින් රජයේ ආදායමෙහි බරපතල පහත වැටීමක් සිදුවන බවයි. මේ වනවිටද එය පවතින්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 11%කට ආසන්න වූ පහළ මට්ටමක බවත් මෙය බොහෝ විට අපට සමාන රටවල පවතින්නේ 20% කට ආසන්න අගයක බවත් සඳහන්ය.
එසේම, රජයේ සේවක වැටුප් ඉහළ නැංවීම තුළින්ද රජයේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 17 කින් ඉහළ යන බවත් නව ආදායම් ලැබෙන පියවර යෝජිත අතුරු අයවැයෙහි අන්තර්ගත නොවුවහොත් ආදායම් පහත වැටීමත් වියදම් ඉහළ යාමත් තුළින් නිර්මාණය වන්නා වූ මෙම තත්ත්වය නියත වශයෙන්ම අයවැය පරතරය තව දුරටත් ඉහළ යාමට තුඩුදෙන බවත් සඳහන්ය.
එවැනි ආදායම් මාර්ග නොවන්නේ නම් දැනටමත් අවදානම් තත්ත්වයක් ප‍්‍රදර්ශනය කරන මෙරට ණය අගය තව දුරටත් අයහපත් කරවමින් තව තවත් බැහැරින් ණය ලබාගැනීමට සිදුවන බව පාත්ෆයින්ඩර් වැඩිදුරටත් කියා තිබේ.
2015 අපේ‍්‍රල් මාසයෙන් පසු එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය විසින් පොලී අනුපාත ඉහළ නැංවුවහොත් හා යුරෝපා මධ්‍යම බැංකුවත් ජපාන බැංකුවත් බැඳුම්කර මිලට ගැනීමේ වැඩපිළිවෙළක් වෙත යොමු වුවහොත් ජාත්‍යන්තර ප‍්‍රාග්ධන වෙළෙඳපොළෙහි සිදුවිය හැකි අස්ථාවර භාවය වැඩිවන විදේශීය ණය තුළින් අපේක්ෂිත ප‍්‍රතිලාභයන් විෂයෙහි අහිතකර ලෙස බලපාන බවද මෙහිදී පෙන්වාදී ඇත.
රාජ්‍ය මුදල්වල පහත බැසීමක් ප‍්‍රදර්ශනය වුවහොත් ශ‍්‍රී ලංකාව විසින් ලබාගත හැකිව තිබෙන ණය පහසුකම් සඳහා වන කොන්දේසීන්ද දැඩි වීමට ඉඩ තිබෙන බැවින් දේශීය ණය කෙරෙහි වැඩි වැඩියෙන් යොමු වන්නට සිදු වුවහොත් එය පොලී අනුපාතයන් ඉහළ යන්නට මෙන්ම පෞද්ගලික අංශයේ සහභාගිත්වය අහිමි වීමටද හේතු විය හැකි බව සඳහන්ය.
කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ 29 වනදා ඉදිරිපත් කිරීමට නියමිත අතුරු අයවැය පිළිබඳව සවිස්තරාත්මකව තවමත් කරුණු දැක්විය නොහැකි නමුත් වංචා දූෂණ වැලැක්වීම මගින් ඉතිරිකර ගන්නා මුදල් මගින් ලබාදී තිබෙන පොරොන්දු ඉටු කිරීමේ හැකියාව තිබෙන බවයි.
අයවැය හිඟය වැඩිවීම, උද්ධමනය වැඩිවීම හෝ පොලී අනුපාතය වැඩිවීමට තම රජය අවස්ථාව ලබා නොදෙන බවත් පොලී අනුපාතය සියයට 10 ක පමණ මට්ටමක තබා ගනිමින් වැඩිපුර ණය ලබාගැනීමේ අවස්ථාව විවර කරමින් ආර්ථික සංවර්ධනයට අවස්ථාව සලසන බවත් මුදල් අමාත්‍යවරයා අප සමග පැවසීය.
http://www.adaderana.lk/biz/පොරොන්දු-වූ-සියළු-ආර්ථික/