රු. මිලියන 1,740 ක බදු පසු ලාභයක්
සෙලාන් බැංකුව 2015 ජූනි මස 30 දිනෙන් අවසන්වූ මාස 06 තුළදී රුපියල් මිලියන 2,579 ක ආදායම් බදු පෙර ලාභයක් සමගින් වාර්තාගත අර්ධ වාර්ෂික කාර්ය සාධනයක් සනිටුහන් කිරීමට සමත්වී තිබේ. බැංකුවේ බදු පසු ලාභය රුපියල් මිලියන 1,740 ක් ලෙස සටහන්වූ අතර එය 2014 වර්ෂයේ පළමු මාස 06 තුළ වාර්තා කරන ලද රුපියල් මිලියන 1,212 ක අගය හා සසඳන කළ 43% ක වර්ධනයකි.
එසේම මෙම වසරේ දෙවන කාර්තුව සඳහා රුපියල් මිලියන 1,089 ක අගයක් ගත් බැංකුවේ බදු පසු ලාභය පසුගිය වසරේ එම කාර්තුව සඳහා බදු පසු ලාභය වූ රුපියල් මිලියන 698 හා සසඳන විට 56% ක වර්ධනයකි.
2015 ජූනි මස 30 දිනෙන් අවසන්වූ මාස 06 තුළදී බැංකුවේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 5.16 සිට රුපියල් බිලියන 5.83 දක්වා ඉහළ ගියේය. එය 13% ක වර්ධනයකි. පසුගිය වසර කිහිපයේදී බැංකුව පෙන්නුම් කළ අඛණ්ඩ හා ශක්තිමත් වර්ධන ප්‍රවණතාව තව දුරටත් තහවුරු කරමින් ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 13% ක වර්ධනයක් සමගින් රුපියල් මිලියන 1,055 සිට රුපියල් මිලියන 1,191 දක්වා ඉහළ ගියේය.
2015 පළමු අර්ධ වර්ෂයේදී බැංකුවේ ශුද්ධ අත්තිකාරම් අගය රුපියල් බිලියන 155 සිට රුපියල් බිලියන 162.7 දක්වා වර්ධනය වූ අතර තැන්පතු පදනම රුපියල් බිලියන 185.9 සිට රුපියල් බිලියන 190.5 දක්වා වර්ධනය විය. බැංකුවේ අඩු වියදම් තැන්පතු පදනම 2015 ජූනි මස අවසානය වන විට 38% ක් බවට පත්ව තිබිණ.
ඵලදායී අයකරගැනීමේ හා පුනරුත්ථාපනය කිරීමේ ක්‍රමවේද උපයෝගී කරගැනීම ඔස්සේ එහි වත්කම්වල ගුණාත්මකභාවය ඉහළ නංවාගැනීමට බැංකුවට හැකි විය. 2014 දෙසැම්බර් මසදී 7.69%ක් වූ දළ අක්‍රිය ණය (අවිනිශ්චිත පොලී අඩු කළ පසු) අනුපාතය 2015 වසරේ ජූනි මස අවසානය වන විට 6.53% ක් බවට පත්කරගැනීමට එමගින් බැංකුවට අවකාශ ලැබිණ. විධිමත්, තිරසාර හා ඵලදායී අයකරගැනීමේ ක්‍රමවේද අනුගමනය කිරීම ඔස්සේ 2009 වසරේ සිට අඛණ්ඩව එහි වත්කම්වල ගුණාත්මකභාවය ඉහළ නංවාගැනීමට බැංකුව සමත් විය.
එහි සිව් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම (2012-2016) මත පදනම්ව අත්තිකාරම්/තැන්පතු වර්ධනය, ශාඛා ජාලය පුළුල් කරගැනීම, ගනුදෙනුකාර සේවය වැඩි දියුණු කරගැනීම, සේවක සංවර්ධනය, අක්‍රිය වත්කම් අවම කරගැනීම, වියදම් පාලනය, නව නිමැවුම් හඳුන්වාදීම, තොරතුරු තාක්ෂණ පහසුකම්, කොටස්කරුවන්ගේ වටිනාකම් ආදී අංශ කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු කිරීමට බැංකුව විසින් කටයුතු කරන ලදී. අඩු පහසුකම් සහිත පාසැල් සඳහා පුස්තකාල 100 ක් ඉදි කිරීම සඳහාද උපාය මාර්ගික සැලැස්මෙන් කටයුතු සම්පාදනය කර ඇත. බැංකුව 2013 වර්ෂයේ සිට එවැනි පුස්තකාල 70 ක් විවෘත කර තිබේ. සිය ගනුදෙනුකරුවන්ට ගූණාතAAමක බවින් ඉහළ සේවා අත්දැකීමක් ලබාදීම සඳහා දැනට ක්‍රියාත්මක ශාඛා ප්රතිස්ථානගත හා ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය 2015 පළමු අර්ධ වාර්ෂිකය තුළදී පූර්ණ වශයෙන් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා ලදී. 2015 ජූනි මස අවසානය වන විට ශාඛා ජාලයෙන් 75% ක ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීම අවසන් කර තිබේ. 2015 ජූනි මස 30 වන දිනට බැංකුවේ ශාඛා ජාලය ශාඛා 159 ක්, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 181 ක් හා පාසැල් දරුවන් සඳහා වන ඉතිරි කිරීමේ මධ්‍යස්ථාන 93 කින් සමන්විත විය.
2015 දෙවන කාර්තුව වන විට බැංකුවේ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය 13.74% ක් වන අතර එය නියාමන අවශ්‍යතා අභිබවා තිබේ.
මෙම ප්‍රශංසනීය කාර්ය සාධනයෙහි ප්‍රතිඵලයක් ලෙස 2015 දෙවන කාර්තුවේදී එක් කොටසක් සඳහා ඉපයූ මුදල රුපියල් 5.04 ක් වූ අතර වත්කම් මත ඉපැයුම් (බදු පෙර ලාභය) හා ප්රාග්ධනය මත ඉපයුම් පිළිවෙලින් 2.03% ක් හා 14.52% ක් ලෙස සටහන් විය. 2015 ජූනි 30 වන දිනට බැංකුවේ එක් කොටසක් සඳහා වන ශුද්ධ වත්කම් වල වටිනාකම රුපියල් 71.48 කි. (සමූහය රුපියල් 74.88 කි.) Divaina