බිලියන දාහ පාඩු වුනේ කොහොමද?
පෙර ලිපියකට ප්‍රතිචාර දක්වමින් කතා කතු විසින් ලියා තිබුණේ මා පෙර ලියූ බැඳුම්කර ලිපි පෙළින් කර තිබෙන්නේ රනිල්ට එල්ල වන චෝදනා තනුක කිරීම බවයි. අප ලියන ලිපි අතරින් එජාපයට වාසිදායකයැයි ඔහු සිතන (හා බොහෝ විට මගේ මතය අනුවද සැබෑවටම එජාපයට වාසිදායක) ඇතැම් දේ ඔහු විසින් වරින් වර විවේචනය කර තිබෙනවා. පළමුව කිව යුත්තේ අප ලියන දේ සැලකිල්ලෙන් කියවීම වගේම ලියන දේ හා අදාළව තමන්ට සිතෙන දේ සටහන් කිරීම අප අගය කරන බවයි. විවේචන ලියන දේවල් හා අදාළනම් හා ශිෂ්ඨ බසින් ලියන්නේනම් අප ලියන ඕනෑම දෙයක් හා එකඟ නොවෙමින් ප්‍රතිචාර දැක්වීමේ කිසිදු වරදක් නැහැ. එවැනි විවේචන අපගේ ලිපි වලට එළියක්.
මා ලියන දෙයින් රනිල්ට හෝ වෙනත් අයෙකුට හෝ එජාපයට හෝ වෙනත් දේශපාලන පක්ෂයකට වාසියක් වෙනවාද නැද්ද යන්න මට වැදගත් කරුණක් නොවෙයි. එවැනි වාසියක් සිදුවන්නට ඉඩක් තිබීමේ හේතුවෙන් මා ලිවිය යුතු දෙයක් නොලියා ඉන්නේ නැහැ. වඩා නිවැරදිව කියනවානම් මගේ බැඳුම්කර ලිපි පෙළින් රනිල් වික්‍රමසිංහ වෙත එල්ල වී තිබෙන චෝදනා තනුක කරනු තබා මා ඔහුට කිසිදු චෝදනාවක් එල්ල කර හෝ නැහැ. දැන් කරන්නේත් නැහැ. විස්වාසනීය ලෙස එවැනි චෝදනාවක් එල්ල කිරීමට තරම් සාක්ෂියක් තවමත් මට හමු වී නැහැ.
ඊයේ ජනාධිපතිවරයා විසින් සිදුකර තිබෙන කථාවට අනුව 2007 සිට බැඳුම්කර ගනුදෙනු වලින් රජයට සිදුව ඇති හානිය රුපියල් බිලියන 1000ක්. ඔහුට මේ බව පෙන්වා දී තිබෙන්නේ ආර්ථික විශේෂඥයින් විසිනුයි. මේ කියන ආර්ථික විශේෂඥයින් කවුද කියා ජනාධිපතිවරයා හරියටම කිවුවේ නැහැ.
ජනාධිපතිවරයාට උපදෙස් දෙන නීති විශේෂඥයින්ද සිටින බව ඔහුගේ කතාවේ සඳහන්ව තිබෙනවා. ඒ විශේෂඥයින්ගේ උපදෙස් අනුව කටයුතු කර දැන් ඔහු හොඳටම ඇණගෙනයි ඉන්නේ. පුද්ගලයෙකුට සෑම විෂයකම ප්‍රවීණයෙකු විය නොහැකියි. ඒ නිසා විශේෂඥයින්ගේ උපදෙස් ගන්න වෙනවා. මේ විදිහට විශේෂඥයින් තෝරා ගැනීමේදී තමන්ව අමාරුවේ නොදමන විශේෂඥයින් තෝරා ගැනීමට කුසලතාවයක් නොතිබුණොත් අමාරුවේ වැටෙන්නේ උපදෙස් ගත් පුද්ගලයා මිස උපදෙස් ලබාදුන් පුද්ගලයා නෙමෙයි.
බැඳුම්කර සිදුවීම ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ ලොකුම මූල්‍ය වංචාව බව බොහෝ දෙනෙක් විශ්වාස කරන කරුණක්. එසේ විශ්වාස කරන අය අතර එජාප පාක්ෂිකයින්ද සිටිනවා. එහෙත්, මා තවමත් එසේ සිතන්නේ නැහැ. මා නිගමන වලට එළැඹෙන්නේ මා දන්නා කරුණු මත පදනම්වයි. මේ හා අදාළව මා නොදන්නා කරුණු තිබිය හැකියි. එවැනි කරුණු හමුවුවහොත් මගේ අදහස වෙනස් විය හැකියි.
බැඳුම්කර සිදුවීම සම්බන්ධව යමක් ලිවීම මා කලක් හිතාමතාම අතපසු කරමින් සිටියා. ඒ, ඒ වන විට වටින් ගොඩින් කියැවුණු මේ හා අදාළ බොහෝ කරුණු ගැන දැනගන්නට පිළිගතහැකි මූලාශ්‍රයක් මා සතු නොවූ නිසයි. මේ කාලයේ මා මේ ගැන නොලියන බවට ඇතැම් බ්ලොග්කරුවන් දිගින් දිගටම චෝදනා කළා. කතාකතුත් ඒ අතර වූ බවට යාන්තම් මතකයක් තිබෙනවා. මගේ මතකය නිවැරදි නොවෙන්න පුළුවන්. මා මේ හා අදාළව මුලදීම ලිවුවානම් කොහොමටත් ලියන්න වෙන්නේ බොහෝ දෙනා කියූ කරුණු ඇත්ත වුවත් බොරු වුවත් එම කරුණු නීතිය ඉදිරියේ ඔප්පු කළ හැකි සාක්ෂි නොතිබුණු බව පමණයි.
පසුව විගණකාධිපති වාර්තාව හා කෝප් වාර්තාව ප්‍රසිද්ධියට පත් වූ පසුව මේ හා අදාළ වැඩිමනත් තොරතුරු දැනගන්නට ලැබුණා. මගේ ලිපිපෙළ පදනම් වූයේ මේ වාර්තා දෙකෙහි වූ කරුණු මතයි. අදාළ වාර්තා අනුව, අදාළ කාලයේ "අසාමාන්‍ය" බැඳුම්කර වෙන්දේසි දෙකක් සිදු වී තිබුණු අතර එම වෙන්දේසි දෙක නිසා රජයට සිදුව හැකිව තිබුණු උපරිම පාඩුව රුපියල් බිලියන 1.674 ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණා. ඒ 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියෙන් වූ රුපියල් 889,358,050ක පාඩුවක් හා 2016 මාර්තු 29 දින තවත් 784,898,755ක පාඩුවක් ලෙසයි. මේ ඇස්තමේන්තු සකස් කිරීමේ පදනම වී තිබුණේ මුලින් දැනුම් දුන් බැඳුම්කර ප්‍රමාණය මිල දී ගත හැකිව තිබුණු මුදලටම අවසාන වශයෙන් මිලදී ගත් බැඳුම්කර ප්‍රමාණයද මිල දී ගත හැකිව තිබුණේය යන්නයි. මගේ පළමු ලිපිපෙළේ අවසානයේදී මා පෙන්වා දුන්නේ මේ උපකල්පනය නිවැරදි නැති බව හා සැබෑ පාඩුව මීට වඩා අඩු විය යුතු බවයි. විගණකාධිපති වාර්තාවේ හා කෝප් වාර්තාවේ ඇස්තමේන්තු සකස් කිරීමේදී මේ හා අදාළ සංකීර්ණ තාක්ෂණික කරුණු සියල්ල සැලකිල්ලට ගෙන තිබුණේ නැහැ.
පසුව ප්‍රකාශයට පත් කෙරුණු ජනාධිපති කොමිෂමේ වාර්තාව පෙර වාර්තා දෙකට සාපේක්ෂව පුළුල් හා සංකීර්ණ ලෙස කරුණු හා සාක්ෂි සොයා බලමින් සකස් කර තිබුණු පිටු 1184ක දීර්ඝ වාර්තාවක්. එහි නිගමන සමඟ මට ලොකු ප්‍රශ්නයක් නැහැ. ඇතැම් අය උනන්දුවක් දක්වන නිසා ඉදිරි කාලයේ ඉඩ ලැබෙන පරිදි එහි ඇති දේ ගැන ලියන්නම්.
ජනාධිපති කොමිෂමේ වාර්තාවේ සඳහන් වන්නේ 2015 පෙබරවාරි 1 දින සිට 2016 මාර්තු 31 දක්වා පැවති සියළු වෙන්දේසි වලින් රජයට සිදුව තිබෙන අලාභය රුපියල් 688,762,100ක් බවයි. මේ අලාභය සිදු වී තිබෙන්නේ 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී. එම අලාභයට හේතුව හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හරහා පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම විසින් මිල-සංවේදී හෝ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම බව කොමිසම විසින් නිගමනය කර තිබෙනවා. ඒ අනුව, එම අලාභය අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් හා පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමෙන් අය කරගත ගත යුතු බව එම කොමිසම විසින් නිර්දේශ කර තිබෙනවා. 2016 මාර්තු 29 දින හෝ අදාළ කාලය තුළ වෙනත් දිනක මෙවැනි අක්‍රමිකතාවයක් සිදු වී තිබෙන බව එම කොමිසම විසින් නිරීක්ෂණය කර නැහැ. ඒ වගේම, මේ සිද්ධියට රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධයක් ඇති බවත් නිරීක්ෂණය කර නැහැ.
රුපියල් මිලියන 689ක් නැත්නම් බිලියන 0.69ක් කියන්නේ අප බොහෝ දෙනෙක්ට විශාල මුදලක්. නමුත්, ජනාධිපති සිරිසේනගේ කතාවේ කියන රුපියල් බිලියන 1000ට සාපේක්ෂව ඉතාම සුළු මුදලක්. ජනාධිපතිවරයාම පහුගිය දවස්වල කියපු ආකාරයට පසුගිය සති වල මන්ත්‍රීවරයෙක් විකිණිලා තියෙන්නෙත් රුපියල් මිලියන 500කට. දෙපැත්තේ තරඟය තව පොඩ්ඩක් වැඩි වුණානම් ඔය මිල රුපියල් මිලියන 689 පන්නනවා. ඔයිට වඩා විශාල පාඩු රජයට සිදු වූ අවස්ථා ඕනෑතරම් තියෙනවා. නීතිවිරෝධීව සිදු කළ හෙජිං සූදුව නිසා සිදු වූ පාඩුව මීට වඩා ගොඩක් වැඩියි. ඒ ගැන ලියූ වෙලාවේ "හෙජිං ගිවිසුම අනීතික උපකරණයක් නොවන බව" එක ඇනෝ කෙනෙක් ලියල තිබුණා. "හෙජිං යනු පිළිගත් අවදානම් අඩු කර ගැනීමේ ක්‍රමවේදයක්" බව කතා කතු ලියලා තිබුණා. නමුත්, සිදුවී තිබුණේ අවදානම් අඩුකර ගැනීමේ ක්‍රියාමාර්ගයක් නොවන සමපේක්ෂණ සූදුවක් බවත්, අදාළ ගිවිසුම නීත්‍යානුකූල නොවන ශුන්‍ය එකක් බවත් ජාත්‍යන්තර අධිකරණ වලදී පෙන්වා දුන්නේ තෙල් සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විසින්මයි.
කතා කතු මේ හෙජිං ගණුදෙනුව හා මහින්ද රාජපක්ෂ අතර සම්බන්ධයක් ගැන කතා කර තිබුණා. එහෙත්, මම එවැනි දෙයක් ලිවුවේ හෝ අදහස් කළේ නැහැ. නමුත්, ඒ ගැන හිතපුවහම ඇත්තටම සම්බන්ධයක් තිබෙනවා. මොකද මේ ගිවිසුම අත්සන් කළේ අමාත්‍ය මණ්ඩලයේ සාමූහික තීරණයක් අනුවයි. එවකට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා මහින්ද රාජපක්ෂයි. බැඳුම්කර සිදුවීම හා රනිල් අතර එවැනි සම්බන්ධයක් කිසිවෙකු පෙන්වා දී නැහැ. තිබෙන ප්‍රධානම චෝදනාව වන්නේ රනිල් විසින් අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති සේ පත් කිරීමට යෝජනා කර තිබීමයි. ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව 2004 සිට සිදු කෙරුණු අධිපති පත්වීම් වලට සාපේක්ෂව මෙය යෝග්‍ය පත්කිරීමක්. මට රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින්න අවශ්‍ය නැහැ. නමුත්, කතාකතුගේ හා ඇනෝගේ විවේචන වලට මා ප්‍රතිචාර දිය යුතුයි. එහි වාසිය රනිල්ට වීම හා අවාසිය මහින්දට වීම ගැන මට කරන්න දෙයක් නැහැ. එය මට අදාළ කරුණක් නෙමෙයි.
බැඳුම්කර සිදුවීමට නැවත පැමිණියොත්, ඇතැම් අය මේ සිදුවීම නිසා දිගුකාලීනව පොලී අනුපාතික ඉහළ ගිය බවට බොරු තර්කයක් ගොඩ නැගුවා. නමුත්, කොමිෂන් වාර්තාවේ පැහැදිලිව කියන්නේ පොලී අනුපාතික විචලනය වීමට වෙනත් සාධක විශාල ගණනක් බලපාන නිසා එවැනි නිගමනයකට පැමිණිය නොහැකි බවයි. එසේනම්, ජනාධිපති සිරිසේන කියන රුපියල් බිලියන 1000න් ඉතිරි රුපියල් බිලියන 999.3ක පාඩුව රජයට වුණේ 2015 පෙබරවාරි 1ට පෙරද? ඔහු කියන්නේ මේ අලාභය 2007 සිට සිදු වී ඇති සමස්ත අලාභය බවයි. නමුත්, 2015 පෙබරවාරි සිට සිදුව තිබෙන අලාභය රුපියල් බිලියන 0.7ක් පමණයි.
මේ වන විට නිකුත් කර තිබෙන මුළු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේම වටිනාකම රුපියල් බිලියන 4000ක් පමණ වෙනවා. ජනාධිපතිවරයා කියන ආකාරයට එයින් 25%කටම හේතු වී තිබෙන්නේ ඉහත අක්රමිකතාවනුයි. ඒ වගේම, රටේ මුළු ණය වලින් 10%කට පමණ හේතු වී තිබෙන්නේ ඉහත අක්රමිකතාවයි. 2007-2015 කාලයේදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වූ අක්‍රමිකතා හේතුවෙන් රජයට එවැනි අලාභයක් සිදු වූ බව මා විශ්වාස කරන්නේ නැහැ. නමුත්, එම කාලයේ හෝ ඉන්පසුව මෙම අලාභය සිදු වූ ආකාරය ඇස්තමේන්තු කර ඇති වෙනත් රහසිගත වාර්තාවක් ජනාධිපති සිරිසේන සතුව තිබෙනවාද කියා මම දන්නේ නැහැ. එවැන්නක් තිබෙනවානම් එය දකින්න ලැබුණු දවසක අදහස් දැක්විය හැකියි.
http://economatta.blogspot.com/