යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ මනින්ද්‍රි බණ්ඩාරනායක (කැටගරි ලීඩර්- බෙවරේජස්) මේ බව පැවසූ අතර ශ්‍රී ලාංකේය තරුණ පරපුර අතර කෝපි ඇතුළු පාන වර්ග ජනප්‍රිය වෙමින් තිබෙන බව පැවසුවාය.
“යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම සමීක්ෂණයක් කළා, මෙරට තරුණ පරපුරේ තේ පානය පිළිබඳව. අපිට තේරුම් ගියා තරුණ පරපුර අතර තේ පානයේ යම් අඩුවීමක්. ඔවුන්ට පහසු විවිධ වූ පාන වර්ග වෙළඳ පොළේ තිබෙනවා.“
යනුවෙන් ඇය සඳහන් කළාය.
ලෝකයේ ඉතාමත් ජනප්‍රිය “ලිප්ටන්“ වෙළඳ නාමය යටතේ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම මෙරට වෙළඳ පොළට තේ ඉදිරිපත් කරන අතර “අර්ල් ග්‍රේ ටී, ලෙමන් ටී, ඉන්ගිල්ෂ් බ්‍රෙක්ෆස්ට් ටී, යන නමින් රසකළ තේ වර්ග තුනක් මෙරට වෙළඳ පොළට හඳුන්වා දීමට ඊයේ පස්වරුවේ කොළඹදී කටයුතු කළේය.
මීට අමතරව, පියෝ, මින්ට්, ජැස්මින් හා සිට්‍රස් යන තේ නිෂ්පාදන නව මුහුණුවරකින් යුක්තව එළි දැක්වීමද මෙහිදී සිදු කළේය.
තරුණ පරපුරේ සියුම් තැන් සොයයි
මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මනින්ද්‍රි බණ්ඩාරනායක පැවසුවේ තේවල තිබෙන ගුණාත්මක භාවය තරුණ පරපුරට අවබෝධ කරදෙන ගමන්ම ඔවුන්ට පහසු ආකාරයට තේ වෙළඳ පොළට ඉදිරිපත් කරමින් තරුණ පරපුර අතර සිය තේ වෙළඳ නාම ජනප්‍රිය කිරීම සඳහා සමාගම කැපවී සිටින බවයි.
වෙළඳ පොළ කොටස
යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවිකරණ අධ්‍යක්ෂ අසංග රණසිංහ පැවසුවේ මෙරට වෙළඳ නාමකරණය කළ තේ වෙළඳ පොළින් සියයට 50 කට වඩා සිය තේ වෙළඳ නාම වන ලාඕජි, සිලොන්ටා, ලිප්ටන් යන වෙළඳ නාම වලට අයත් බවයි.
සිය සමාගම විසින් නිපදවන තේ වලින් සියයට 75 ක් පමණම අපනයනය කරන බවත් දේශීය වෙළඳ පොළේ අලෙවි කරනු ලබන්නේ සියයට 25 ක පමණ ප්‍රමාණයක් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා වෙළඳ පොළේ නව තේ රැල්ල
මෙහිදී, තවත් හෙළිදරව්වක් කරමින් අසංග රණසිංහ පැවසුවේ සාමාන්‍ය තේ මිලදී ගැනීමේ සිට වෙළඳ නාමකරණය කළ තේ මිලදී ගැනීමට විශාල වශයෙන් මෙරට පාරිභෝගිකයා මේ වනවිට නැඹුරු වෙමින් තිබෙන බවත් වෙළඳ නාමකරණය කළ තේ වෙළඳ පොළේ වාර්ෂික වර්ධනය සියයට 7-8 ක් පමණ වන බවයි.
“යුනිලීවර් වෙළඳ නාමකරණය කළ තේ වෙළඳ පොළින් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ බස්නාහිර පළාතේ. එයට පසුව උතුරු මැද. සාමාන්‍ය තේ පහසුවෙන් සොයා ගැනීමට පුළුවන් මහනුවර, නුවර එළිය වැනි දිස්ත්‍රික්කවල අපේ වෙළඳ නාම කරණය කළ තේ වෙළඳාම අඩුයි.“
යනුවෙන් රණසිංහ මහතා “විමසුම“ සමග සඳහන් කළේය.
යුනිලීවර් ශ්‍රී ලංකා ආදායමට තේ කෝප්පයේ දායකත්වය
යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම වසරකට රුපියල් බිලියන 30 ක පමණ ආදායමක් ලබන සමාගමකි. මෙම ආදායමට සිය තේ වෙළඳ නාම වලින් ලබා දෙන්නේ සියයට 8-10 අතර ප්‍රමාණයක් බව අසංග රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
යුනිලීවර් “ලිප්ටන්“ වෙළඳ නාමය යටතේ රටවල් 110 ක පමණ තේ අලෙවි කරණ අතර 1971 දී යුනිලීවර් විසින් ලිප්ටන් සමාගම මිලදී ගනු ලැබීය.
මේ වනවිට, ලෝකයේ කළු තේ නිෂ්පාදනයෙන් සියයට 12 කට වඩා යුනිලීවර් සමාගම මිලදී ගන්නේ තේ වතු 3000 කට වඩා වැඩි ප්‍රමාණයකිනි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=28645560