රාජපක්ෂ මහතා පොරොන්දු වී ඇත්තේ පාර්ලිමේන්තු ක්‍රමයේ යහපත් ලක්ෂණ උකහා ගනිමින් ද ජනපති ක්‍රමයේ අයහපත් ලක්ෂණ බැහැර කරමින් ද ජනපති ක්‍රමය සංශෝධනය කරන බවයි. නමුත් සිරිසේන මහතා පොරොන්දු වී ඇත්තේ ජනපති ක්‍රමය අහෝසි කර නැවත පාර්ලිමේන්තු ක්‍රමයට යන බවයි. එබැවින් මෙවර ජනාධිපතිවරණයේ සංවාදය ගොනු විය යුත්තේ ජනපති ක්‍රමය අහෝසි කිරීමේ වාසි සහ අවාසි පිළිබඳවයි.
1947 සිට 1978 දක්වා ලංකාවේ පැවැතුණේ පාර්ලිමේන්තු ක්‍රමයයි. එම ක්‍රමය පිළිබඳ තිස් එක් වසරක් ජීවමාන අත්දැකීම් ඇති බැවින් නැවත එම ක්‍රමයට යෑමට බිය නොවිය යුතු බව විපක්ෂයේ තර්කයයි. නමුත් ඔවුන්ට අමතක වුණු කාරණයක් ඇත. ඒ 1947 සහ 2015 අතර මෙරට රාජ්‍ය ව්‍යුහයේ බරපතල වෙනසක් සිදුවුණු බවයි. ඒ 1987 දී පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙමින් එක් කළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. එකී ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කළ යුතු බව සඳහන් කරමින් පෙත්සම් ගණනාවක් ඉදිරිපත් විණි.
එම පෙත්සම් නව පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග විය. එහි දී විනිසුරුවරුන් හතරදෙනෙකුගේ මතය වූයේ එම සංශෝධනය ඒකීයභාවයට මෙන්ම ජනතා පරමාධිපත්‍යයටද බලපාන බැවින් ජනමත විචාරණයකට යොමු කළ යුතු බවයි. නමුත් බහුතරයකගේ මතය වූයේ පළාත් විධායකයේ ප්‍රධානි වන ආණ්ඩුකාරවරයා ජනාධිපති විසින් පත් කරන බැවින් ද තමන් රිසි ඕනෑම වෙලාවක ඉවත් කළ හැකි බැවින් ද පළාත් සභා පිළිබඳ සුවිශේෂි බලයක් ජනාධිපතිට පැවරී ඇති බැවින් ද ජනතා පරිමාධිපත්‍යයට හානියක් වී නොමැති බවයි. එබැවින් ජනමත විචාරණයකට යොමු නොකරන ලදී.
ඉහත විග්‍රහයෙන් පෙනෙන්නේ ජනාධිපති ක්‍රමය සහ පළාත් සභා එකිනෙකට තදින් ගැට ගැසී ඇති බවත් පළාත් සභා වෙන් වී වෙනම රාජ්‍යයක් කරා යෑම වැළැක්වීමෙහි ලා විධායක ජනාධිපති ධූරය තීරණාත්මක කාර්යභාරයක් කරන බවත්ය. මේ පිළිබඳ ජීවමාන අත්දැකීමක් ද අපට තිබේ. 1990 මාර්තු මස උතුරු සහ නැගෙනහිර පළාත් හි ප්‍රධාන ඇමති ධූරය දැරූ වර්ධරාජා පෙරුමාල් විසින් ඒකපාර්ශවිකව එම පළාත් දෙමළ ඊළම නමින් වෙනම රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කරන ලදී. එම ප්‍රකාශය කර පැය කිහිපයක් ඇතුලත එවකට ජනාධිපති ධූරය දැරූ ආර් ප්‍රේමදාස මහතා විසින් එම පළාත් සභාව විසුරුවා හරින ලදී. එමගින් සිදුවීමට ගිය දැවැන්ත විනාශයක් වළක්වා ගැනීමට අපට හැකි විය. වෙනත් වචනයෙන් පැවසුවොත් දෙමළ රාජ්‍යය නියපොත්තෙන් කැපිය හැකි අවස්ථාවේම කපා හරින ලදී.
අද දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් සිරිසේන මහතා ජයග්‍රහණය කළොත් කුමක් සිදුවේවි ද? ඔහු පොරොන්දු වී ඇති පරිදි දින සීයක් ඇතුලත ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ක්‍රමය ස්ථාපිත කරනු ඇත. එවිට ජනාධිපති සිරිසේන නාමමාත්‍ර විධායකය වී සැබෑ විධායක බලය ඇමති මණ්ඩලයට ලැබෙනු ඇත. එහි ප්‍රධානියා වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. සිරිසේන මහතාගේ මැතිවරණ සටනේ සිටින සම්බන්දන්, රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුද්දීන් යන මහත්වරුන් ද ඇමති මණ්ඩලය තුල සිටිනු ඇත. උතුරු පළාතේ ප්‍රධාන ඇමති විග්නේශ්වරන් ද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන දෙමළ ඊළම ඒකපාර්ශවිකව ප්‍රකාශ කරතියි අපි සිතමු. එවිට ජනපති සිරිසේන නාමමාත්‍ර ජනපති බැවින් ඔහුට ජනපති ප්‍රේමදාස මෙන් ක්ෂණිකව ක්‍රියා කිරීමට නොහැකි වනු ඇත. ඔහුට කළ හැක්කේ තත්වය අගමැති රනිල්ට වාර්තා කර ඔහුගෙන් උපදෙස් පැතීම පමණි.
අගමැතිට ද තනි තීන්දුවක් ගත නොහැක. ඔහු වහාම හදිසි ඇමති මණ්ඩල රැස්වීමක් කැඳවිය යුතුය. එහිදී උතුරු පළාත් සභාව විසුරුවා හැරීමට අවසර පැතිය යුතුය. මෙම ඇමති මණ්ඩලයේ උතුරු පළාත් සභාවේ බලය හිමි දෙමළ ජාතික සංධානයේ සම්බන්දන් මහතා ද සිටියි. ඔහු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් දහසය දෙනෙකුගේ නායකයාය. වෙනත් වචන වලින් පැවසුවොත් අගමැති රනිල් සහ නියෝජ්‍ය අගමැතිනි චන්ද්‍රිකාට පසුව සිටින ආණ්ඩුවේ බලවතාය. තමන්ගේ පාලනයට නතු එකම පළාත් සභාව විසුරුවා හැරීමට ඔහු රිසි නොවනු ඇත. එබැවින් මෙම තීන්දුව ගත්තොත් දෙමළ සංධානය ආණ්ඩුවෙන් ඉවත් වී ආණ්ඩුව පෙරලා දමන බවට තර්ජනය කරනු ඇත.
නැගෙනහිර පළාත් සභාවේ ද දැන් ඇත්තේ වෙනත් තත්වයකි. රවුෆ්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ රිෂාඩ්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය දැන් ඉන්නේ විපක්ෂයේය. ඒ සමගම ආණ්ඩු පක්ෂය මන්ත්‍රින් 12ක් දක්වා අඩු වී විපක්ෂය මන්ත්‍රින් 26ක් දක්වා ඉහළ ගොස් ඇත. ඔවුන්ට දෙමළ සංධානය සමග එකතු වී නැගෙනහිර පළාත් සභාවේ බලය අත්පත් කර ගත හැක. ඔවුන් එය සිදු කිරීමට ජනපතිවරණය අවසන් වන තෙක් සිටින්නේ එයින් සිරිසේන මහතා ලබා ගන්නා සිංහල ඡන්ද ගණනට අහිතකර බලපෑමක් එල්ල වෙතියි බියෙනි. ඒ අනුව නුදුරු අනාගතයේ දී බිහි වන්නේ දෙමළ සංධානයේ සහයෝගයෙන් මුස්ලිම් කොංග්‍රසය පාලනය කරන නැගෙනහිර පළාත් සභාවකි.
ඉහත තත්වය මත නැගෙනහිර පළාත ද ඒකපාර්ශවීයව වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමේ අවදානමක් තිබේ. ඇත්තෙන්ම ඊට අවශ්‍ය මූල බීජ ද මුස්ලිම් කොංග්‍රසය විසින් වපුරා තිබේ. පසුගිය දා පැවැති මුස්ලිම් කොංග්‍රසයේ වාර්ෂික සමුළුවේ දී කල්මුණේ ආශ්‍රිතව වෙනම මුස්ලිම් කලාපයක් ඉල්ලා සිටීමේ යෝජනාවක් සම්මත විය. මෙම යෝජනාව බැලු බැල්මට නැවුම් යෝජනාවකි. නමුත් එය වසර 82ක් පැරණි යෝජනාවකි.
1933 දී පකිස්තානය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කළ රහ්මත් අලි චෞද්‍රි පකිස්තානයට අමතරව දකුණු ආසියාවේ තවත් මුස්ලිම් රටවල් 10ක් බිහි කිරීමට යෝජනා කලේය. එයින් නසරිස්ථානය පිහිටියේ ලංකාවේ නැගෙනහිර පලාතේ අද මුස්ලිම් කලාපය ලෙස නම් කිරීමට ඉල්ලා සිටින භූමිය මුල් කර ගෙනය. එබැවින් අද ජනපතිවරණය පාදක කර ගනිමින් හකීම් වෙර දරන්නේ අලි චෞද්‍රිගේ සිහිනය සැබෑ කිරීමටයි. එබැවින් උතුරේ පමණක් නොව නැගෙනහිර ද වෙනම රාජ්‍යයක් බිහි කිරීමේ අවදානමක් තිබේ. එය ප්‍රකාශයට පත් කරනු ඇත්තේ දෙමළ සංධාන - මුස්ලිම් කොංග්‍රස් හවුල් ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයා විසිනි.
උතුරු පළාත් සභාව සම්බන්ධයෙන් ලබා දුන් නිදසුනේ දී මෙන් නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමේ යෝජනාව ඇමති මණ්ඩලයේ සාකච්ඡාවට ගත යුතු වේ. දෙමළ සංධානයට උතුරු පළාත් සභාව මෙන් නැගෙනහිර පළාත් සභාව යනු මුස්ලිම් කොංග්‍රසයට බලය තිබෙන එකම පළාත් සභාවයි. එබැවින් එකී යෝජනාව සම්මත කළොත් තම මන්ත්‍රිවරුන් අට දෙනා සමග ආණ්ඩුවෙන් ඉවත් වන බවට හකීම් මහතා තර්ජනය කරනු ඇත.
ඉහත තත්වය යටතේ උතුරු සහ නැගෙනහිර පළාත් සභා විසුරුවා හැරියොත් ආණ්ඩුවට මන්ත්‍රිවරුන් 24ක් අහිමි වී ආණ්ඩුව පෙරලෙනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු බලය අත්පත් කර ගන්නේ වසර විස්සක් විපක්ෂයේ දුක් විඳීමෙන් පසුවය. එබැවින් සිය ආණ්ඩුව හදිසියේ පෙරලා ගැනීමට ඔහු සතුටු නොවනු ඇත. මෙවැනි ගැටළු වලට දේශපාලන පක්ෂයක් මුහුණ දුන් විට ඔවුන් ඒ සඳහා කල් මැරීමට තෝරා ගන්නේ කමිටුවක් හෝ කොමිසමක් පත් කිරීමයි. ඒ අනුව පළාත් සභා විසුරුවා හැරිය යුතුදැයි තීරණය කිරීමට ඇමති මණ්ඩල අනුකමිටුවක් පත් කරනු ඇත. එම කමිටු වාර්තාවේ ඉහත විග්‍රහය මා ඉදිරිපත් කලේ ලංකාවේ ජනප්‍රියතම දේශපාලන සටන් පාඨය වන “විධායක ජනපති ක්‍රමය අහෝසි කරමු“ යන්න කෙතරම් භයානක දැයි තේරුම් ගැනීමටය. ඇත්තෙන්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම දෙමළ ඊළමට සහ නසරිස්ථානයට ඇති කෙටි පාරක් මෙන්ම හොර පාරක් ද වේ. එබැවින් විධායක ජනාධිපති ධූරය රැක ගැනීම මව්බිමට ආදරය කරන සැමගේ යුතුකමකි.