ගෙවුණු මැයි මාසයේදී බැංකු වලින් රාජ්‍ය අංශය ලබාගත් ණය ප්‍රමාණය මාස නමයකදී වාර්තාකළ අඩුම අගය වාර්තා කළත් පුද්ගලික අංශය ගත් ණය ප්‍රමාණය පසුගිය කාලයේදී මෙන් වැඩිවී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව මැයි මාසයේදී පුද්ගලික අංශය බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය රුපියල් බිලියන 36.1 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2,215 ක්වී තිබෙන අතර එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 33.5 ක වර්ධනයකි.
කෙසේවෙතත්, පුද්ගලික අංශය බැංකු ක්‍රමයෙන් ලබාගන්නා ණයවල වාර්ෂික වර්ධන වේගය සියයට 34 ක සිට සියයට 33.5 ක් දක්වා සුළු වශයෙන් අඩුවී තිබෙන බව අනාවරණය වේ.
මැයි මාසයේදී රාජ්‍ය ව්‍යාපාර වලට බැංකු ක්‍රමයෙන් ගලාගිය ණය ප්‍රමාණය රුපියල් බිලියන 9.4 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 266.6 ක්වී තිබෙන අතර එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 107.7 ක වර්ධනයකි.
කෙසේවෙතත්, මැයි මාසයේදී මධ්‍යම ආණ්ඩුව බැංකු වලින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 3.7 ක් දක්වා අඩුවී එහි සමස්ත අගය රුපියල් බිලියන 1,024.8 ක්ව තිබේ. මෙයට හේතුව වී තිබෙන්නේ රජයට සපයන මහ බැංකු ණය ( මුදල් අච්චු ගැසීම) රුපියල් බිලියන 22.2 කින් රුපියල් බිලියන 329.5 ක් දක්වා අඩුවීමයි.
පසුගියදා නිකුත් වූ දත්ත වලට අනුව 2012 අයවැයෙන් ඉලක්ක කර තිබෙන පුරෝකතන ළඟාකර ගැනීමට අප්‍රේල් දක්වා රජය අපොහොසත්ව ඇත.
අප්‍රේල් මාසයේදී රාජ්‍ය සේවකයින්ට උත්සව සමය වෙනුවෙන් වේතන දෙකක් ලබාදීමට මහ බැංකුව බිලියන ගණනක මුදල් අච්චු ගැසූ අතර රාජ්‍ය ආදායම් ප්‍රමාණවත් නොවීම මෙම මුදල් අච්චු ගැසීමට හේතුවයි.
කෙසේවෙතත්, මෙම ණය වලින් බහුතරය මැයි මාසයේදී නැවත පියවා තිබේ.
මහ බැංකුවේ දත්ත වලට අනුව ගිය වසරේ මැයි මාසයේ සිට ගෙවුණු මැයි මාසය දක්වා රාජ්‍ය අංශය බැංකු ක්‍රමයෙන් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය සියයට 44.7 කින් රුපියල් බිලියන 1,024.8 ක් දක්වා වැඩිවී තිබෙන අතර මහ බැංකුව විසින් රජය වෙනුවෙන් සම්පාදනය කළ ණය (මුදල් අච්චු ගැසීම) ගිය වසරේ මැයි මාසයේ සිට මේ වසරේ මැයි මාසය දක්වා සියයට 243 කින් වැඩිවී රුපියල් බිලියන 329 ක්ව ඇතැයි හෙළිවේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=2080237228