ලංකා විදුලිබල මණ්ඩලයට විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ණයට ලබාදීම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාව දිනකට රුපියල් මිලියන එකසිය විසිපහකට (කෝටි 12 1/2 කට) අධික පාඩුවක් ලබන බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා 'දිවයින' ට පැවසීය.
මෙම වසරේ අප්‍රේල් මාසය දක්වා පමණක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන විස්සක පාඩුවක් විඳින්නට සිදුවූ බවත් එම පාඩුවෙන් බිලියන දහඅටක්ම ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන දීම නිසා සිදු වී ඇති බවත් ඇමැතිවරයා කීවේය.
මේ වන විට මුළු විදුලි නිෂ්පාදනයෙන් සියයට අසූපහයි දශම හයක්ම ජනනය වන්නේ ඉන්ධන මගින්ය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇත්තේ විදුලිබල මණ්ඩලයට ඉන්ධන සහන මිලට ලබාදීම නිසා බැවින් එම මුදල් නිසි පරිදි ලැබෙන්නේ නම් තෙල් සංස්ථාවේ කටයුතු ක්‍රමානුකූලව පවත්වාගෙන යැමේ හැකියාව ඇතැයිද ඇමැතිවරයා කීවේය.
කෙසේ වෙතත් විදුලි නිෂ්පාදනයට තෙල් සංස්ථාව ලබාදෙන සහන මුදල මහාභාණ්ඩාගාරය මගින් ප්‍රතිපූර්ණ කරන බවත් පසුගිය කාලයේදී මහාභාණ්ඩාගාරය එලෙස ලබාදුන් රුපියල් බිලියන පනස් දෙකක මුදලින් පැවැති ණය බර මදක් සැහැල්ලු කර ගැනීමට ප්‍රමාණවත් වූ බවත් ඇමැතිවරයා පැවසීය.
නමුත් විදුලිබල මණ්ඩලයට ලබාදෙන ඩීසල්, නැප්නා, දැවි තෙල් (දේශීය සහ විදේශීය) ලෝ සර්ෆ සහ හයිසල්ෆ යන ඉන්ධන වර්ග වෙනුවෙන් තෙල් සමාගම් වෙත ණය සහ පොලී මුදල් ගෙවීමට සිදුවන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
දිවයින පුවත් පත අනුග්රහයෙනි
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1019454599