පසුගිය වසරේ බාල පෙට්‍රල් ප්‍රශ්නයේදීත් අපට ඇසුණේ ඉදිරියට එවැනි දේ නොවීමට පියවර ගන්නා බවයි. දැන් මේ බාල ඩීසල් ප්‍රශ්නයේදීත් ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කියන්නේ ඒ කතාවමය. හෙජින් ගිවිසුම්වලට වගකිවයුත්තන් සම්බන්ධයෙන්ද නීතිපති උපදෙස් විමසා ඉදිරි පියවර ගන්නා බව ඔහු ගිය වසරේ (2011) දී ප්‍රකාශ කළත් එවැනි දෙයක්‌ද සිදුව නැත. කවරක් නමුත් කොයි කාලයේ සිදු වුවද තෙල් සංස්‌ථාවේ සිදුවන මේ පාපකර්මවලට මහජනතාව වගකිව යුතු නැත. එසේ නම් හෙජින් සහ බාල තෙල් පාපකර්මවල කරුමය මහජනයා පිට නොපැටවීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග හෝ ගත යුතුව තිබේ. එම වැරැදිවලට ඇමැති ප්‍රේමජයන්ත පෞද්ගලිකව වගකිව යුතු නැති වුවත්, වත්මන් විෂයභාර ඇමැතිවරයා ලෙස ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුව ඇත්තේ ඔහු විසින් ය. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනය.
දුම්රිය, බස් රථ සහ වරායේ දොඹකර ඇතුළු ඩීසල් වාහන ලෙඩ කළ බාල ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ සිදු කළ රසායනාගාර වාර්තා අනුව එම තෙල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. එහෙත් එම තෙල් භාවිතයෙන් වාහන ලෙඩ වෙනවා නම් එම ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් තිබිය යුතුය. එය පිළිගන්නා ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පෙරේදා (07 දා) "දිවයින" සම්මුඛ සාකච්ඡාවේදී මෙසේ ප්‍රකාශ කර තිබිණි.
"ප්‍රශ්න මතු වූ ඩීසල් සම්බන්ධව කළ රසායනාගාර පරීක්‍ෂණ වාර්තා අනුව ඒවායේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් නෑ. නමුත් වාහන 150 ක් අතරමග නතරවීම, දුම්රිය එන්ජින් පහක් නතර වීම නිසා ඩීසල්වල ප්‍රශ්නයක් ඇති බව පිළිගන්නවා. ඒ නිසයි මම උපදෙස් දුන්නේ ඩීසල් සාම්පල් මැදපෙරදිග රටකට අමතරව යුරෝපයේ රටකට යවා පරීක්‍ෂා කරන්න කියලා."
විදෙස් රටවලට යවා මේ තෙල් සාම්පල් පරීක්‍ෂා කිරීමටද බර වියදම් දැරීමට සංස්‌ථාවට සිදුවනු ඇත. එහෙත් එය සිදුකරන එක හොඳය. එමගින් තෙල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය හරිහැටි සොයාගෙන එසේම රජයේ විගණකාධිපතිවරයා මගින් සිදු කරන විගණන පරීක්‍ෂණයෙන් ද මීට වගකිවයුත්තන් ද සොයාගෙන, ඔවුන්ට එරෙහිව නිසි පියවර ගත හැකි නම් වඩාත්ම හොඳය. ඒ අනුව වරදකරුවන්ට නීතියෙන් දඬුවම් ලබා දී රජයට (මහජනතාවට) සිදුවන පාඩුව ඔවුන්ගෙන් අය කර ගත යුතු බව අපේ හැඟීමයි. එසේ නොකර මේ බාල තෙල් ප්‍රශ්නය ගැන මොන තරම් පරීක්‍ෂණ පැවැත්වුවත්, එම තෙල් සාම්පල් විදෙස් රටවලට යවා පරීක්‍ෂා කරනු ලැබූවත් අවසානයේ සිදු වන්නේ එම විදෙස් රසායනාගාර වාර්තා ලබා ගැනීමට යන වියදම් ද තෙල් සංස්‌ථාවේ දැවැන්ත පාඩුවට එක්‌වී එය මහා භාණ්‌ඩාගාරය හෝ තෙල් මිල ගණන් හරහා, මේ ප්‍රශ්නවලට වගකිවයුතු නැති මහජනතාව පිට පැටවීමයිá ඩීසල් වාහනයක් තබා පාපැදියක්‌වත් නැති ජනතාව මත ද පැටවීමයි. වරදක් සිදු වී ඇත්නම් වරදකරුවන් ද සිටිය යුතුය. මේ බාල ඩීසල් ප්‍රශ්නයේදීවත් එම වරදේ කරුමය මහජනතාව පිට නොපැටවෙන ලෙස පියවර ගන්නැයි මහජනතාව වෙනුවෙන් අපි ඛනිජ තෙල් ඇමැති සුසිල් ප්‍රේමජයන්තගෙන් මෙන්ම එම අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංගගෙන්ද ඉල්ලා සිටිමු. මෙය අපට ලිවීම පහසු කටයුත්තක් වුවත් එම වගකීම් ඉටු කිරීමට අපහසු දේශපාලන සංස්‌කෘතියේ ප්‍රශ්න එම දෙපළටම තිබෙනවා විය හැකිය. ඒ නිසා බාල තෙල් ප්‍රශ්නවලදී පමණක් නොව රාජ්‍ය අංශයේ සිදුවන සියලුම වංචා, දූෂණ හා අක්‍රමිකතා පිටුදැකීමට නම් ජනාධිපතිවරයා ද ඒ සම්බන්ධයෙන් තදින් සිටිය යුතුය.
මේ දිනවල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විවිධ දිස්‌ත්‍රික්‌කවල විශේෂ සංවර්ධන රැස්‌වීම්වලට සහභාගි වෙයි. මේ අනුව අගෝස්‌තු 06 වැනිදා පැවැති බදුල්ල දිස්‌ත්‍රික් විශේෂ සංවර්ධන රැස්‌වීමේදී ජනාධිපතිවරයා, පොලිසිය ඇතුළු අදාළ බලධාරීන්ට නියෝග කළේ මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුළ සිදු කෙරෙන දැව ජාවාරම් හා සතුන් දඩයම් කිරීම් වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසයි. එසේම ජනාධිපතිවරයා තවත් මහජන ප්‍රශ්න රැසකට කඩිනම් විසඳුම් ලබාදීමට උපදෙස් දෙන අයුරුද ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ වගකීම් මතක් කර දෙමින් තදින් කතා කරන අයුරුද අපට විද්යුත් මාධ්‍ය මගින් දැක ගැනීමට ලැබිණි. මේවා අපි අගය කරමු. එහෙත් මේ පිළිවෙත බාල තෙල් ප්‍රශ්නවලදී, හෙජින් ප්‍රශ්නයේදී මෙන්ම සෙසු මහා පරිමාණ දූෂිත තත්ත්වයන්ට එරෙහිව ද එක ලෙසම තිබිය යුතු බව මහජනතාවගේ අපේක්‍ෂාවයි. ඒ නිසා රාජ්‍ය අංශය තුළ සිදුවන වැරැදිවලට එරෙහිව නිසි පියවර ගැනීමේ පිළිවෙත සුළු පරිමාණ මෙන්ම මහා පරිමාණ වැරැදිවලට ද එක සමානව ක්‍රියාත්මක විය යුතුය. ලොකු වැරැදිවලට වගකිවයුත්තන් නිදැල්ලේ සිටියදී පොඩි වැරැදි කළවුන්ට පමණක් නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමේ විෂම පිළිවෙත නතර විය යුතුය. එසේම වංචා, දූෂණ සහ අක්‍රමිකතාවලට එරෙහිව පියවර ගැනීම මාධ්‍ය සංදර්ශනවලට පමණක් සීමා නොවී සැබැවින්ම ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් විය යුතුය. එහෙත් රජයේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් තුළින් අපට පෙනෙන්නේ එය එසේ නොවන බවයි.
ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පවසන පරිදි බාල ඩීසල් භාවිතයෙන් ලංගම බස් රථ 250 ක් ලෙඩ වී ලංකා ගමනාගමන මණ්‌ඩලයට රු. ලක්‍ෂ 60 ක පාඩුවක් සිදුව ඇත. මේ බස්‌වල, හානියට පත් ඔයිල් ෆිල්ටර් දැමීමට ලක්‍ෂ හයක් පමණ වැය වී තිබේ. බස් ලෙඩ වීමෙන් ලංගමයට ගමන්වාර 289 ක් අහිමි වූ අතර අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ ද ඊට ඇතුළත් වූ බැවින් එම ගමන්වාර 38 ක් ද අහිමි විය. මේ බාල ඩීසල් භාවිතයෙන් ලංගමයට සිදුවූ අලාභය තෙල් සංස්‌ථාවෙන් අයකර ගැනීම සඳහා ලංගමය දැන් තෙල් සංස්‌ථාවත් සමඟ සාකච්ඡා කරමින් සිටී. එසේ සාකච්ඡා කර ලංගමයට සිදුවූ පාඩුව තෙල් සංස්‌ථාවෙන් අය කර ගනු ලැබුවද සිදුවන්නේ ඒ පාඩුව නිසා තෙල් සංස්‌ථාවේ පාඩුව තවත් වැඩිවීමයි. මේ නිසා රාජ්‍ය ආයතන අතර බාල තෙල් පාඩුව කෙසේ හුවමාරු කර ගනු ලැබුවත් එහි බර මේ රටේ මහජනයා පිට පැටවීම වැළැක්‌විය නොහැකිය. එසේ වැළැක්‌වීමට නම් වැරැදි කළවුන්ට දඬුවම් දීමට අමතරව එම සිදුවූ පාඩුව ඊට වගකිවයුත්තන්ගෙන් අයකර ගත යුතු ද වෙයි.
බාල ඩීසල් යෙදීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ ලෙඩ වූ වාහන ගණන 26 කි. මේ නිසා තැපැල් ප්‍රවාහන කටයුතු අඩාල වී තැපැල් දෙපාර්තමේන්තුවට රු. දශ ලක්‍ෂයක පමණ පාඩුවක් සිදුව ඇතැයිද වාර්තා වේ. බාල ඩීසල් නිසා ලෙඩ දුන් වාහන විසි හයේම තිබූ ඩීසල් සියල්ල ඉවත් කරනු ලැබූ අතර ඒවාට අලුත් ඔයිල් ෆිල්ටර් සවි කර අලුත්වැඩියා කිරීමට සිදුව ඇත. මේ සඳහා යෙදූ එක් ඔයිල් ෆිල්ටරයකට වැය වී ඇති මුදල රු. 7,550 කි. තැපැල් දෙපාර්තමේන්තුවට සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා දිනකට වාහන 50 ක් අවශ්‍ය වුවද වාහන 26 ක් ලෙඩ වීම නිසා එම ප්‍රවාහන කටයුතු අඩාල විය. ඒ අනුව සිදුවූ දේ නම් ලියුම් කණුවල ඇති ලිපි එකතු කර ගැනීමේ සහ බෙදාහැරීමේ කටයුතු අඩාල වීමයි මහජනතාවට නියමිත දිනට වඩා ප්‍රමාද වී අදාළ ලිපි ලැබීමයි. මේ නිසා කී දෙනෙක්‌ට නියමිත සම්මුඛ පරීක්‍ෂණ දිනයට පසුව අදාළ ලිපි ලැබුණේ දැයි අපි නොදනිමු. තව කී දෙනෙක් කවර අපහසුතාවන්ට මුහුණ දුන්නේද යන්නත් අප දන්නේ නැත. තෙල් සංස්‌ථාවේ පසුගිය වසරක කාලයේදී සිදු කළ ඉන්ධන මිලදී ගැනීම් හා ඉන්ධන තොග කළමනාකරණය පිළිබඳ විගණනයක් කිරීම සඳහා රජයේ විගණකාධිපතිවරයාට දැනුම් දෙන ලෙස ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ට දැනුම් දී තිබේ. මේ විගණනය තුළින් බාල ඉන්ධන ගෙන්වීමට සම්බන්ධ නිලධාරීන් සහ ඉන්ධන මාෆියාව පිළිබඳ සියලු තොරතුරු හෙළි කර ගැනීමට හැකිවනු ඇතැයි ද ඇමැති ප්‍රේමජයන්ත මාධ්‍යයට පවසා තිබිණි. එම විගණන වාර්තාව ලැබුණු පසු එම අකටයුතුකම්වලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවද ඇමැතිවරයා කියා තිබිණි. 2011.08.01 සිට 2012.07.31 අතර කාලයේ ක්‍ෂණික ඉන්ධන මිලදී ගැනීම් හා ඉන්ධන තොග කළමනාකරණය පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් මේ විගණන කටයුතු සිදු කිරීමට නියමිතය.
තෙල් සංස්‌ථාවේ මේ බලවත් අපල අතරේ පෙරේදා (07 දා) දිනයේ සංස්‌ථාවේ ඩීසල් බවුසරයක් පෙරළී ගිය පුවතක්‌ද වාර්තා වී තිබිණි. එය තෙල් සංස්‌ථාවට අයත් මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයේ සිට හැටන් කොටගල පිහිටි ගබඩා සංකීර්ණය දක්‌වා ගමන්ගත් ඩීසල් ලීටර් 33,000 ක් රැගත් බවුසරයකි. ඒවාත් බාල ඩීසල් දැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් එම ඩීසල් විශාල ප්‍රමාණයක් කඳු බෑවුමෙන් ගලා බසින මහවැලි ගඟට ගලා ගොස් ඇති බවද සිද්ධිය වන අවස්‌ථාවේ බවුසරය පැද වූ රියෑදුරා බීමත්ව සිටි බවද ඔහුව අත්අඩංගුවට ගත් බවද ගිනිගත්හේන පොලිසිය පවසා තිබිණි. බීමත්ව රිය පැදවීම අනතුරුදායක ක්‍රියාවක් බව අපි දනිමු. එසේ තිබියදී "වහා ගිනි ඇවිලෙන සුලුය" කියා තෙල් බවුසරයේ ම ප්‍රදර්ශනය කරගෙන යන තෙල් සංස්‌ථාවේ රියෑදුරන් බීමත්ව ඒවා ධාවනය කිරීම වඩාත්ම අනතුරුදායකය.
තෙල් සංස්‌ථාවේ ඉහළ නිලධාරීන් මෙන්ම පහළ සේවකයන් ද වගකීමෙන් තොරව කටයුතු කරන බව ඉහත සිදුවීමෙන් අපට පෙනේ. එහෙත් වෙනසක් ඇත. එනම් හෙජින් වැනි මහා පරිමාණ අකටයුතුකම්වලට වගකිවයුත්තන්ට එරෙහිව කිසිදු පියවරක් නොගනිද්දී පහළ මට්‌ටමේ සේවකයාට නීතිය වෙනස් අයුරින් ක්‍රියාත්මක වීමයි. ඉහත සඳහන් කළ ඩීසල් බවුසරය පැද වූ රියෑදුරු වහාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් තෙල් සංස්‌ථාවේ මෙන්ම රාජ්‍ය ආයතනවල මහා පරිමාණ මට්‌ටමේ වැරැදි කරන නිලධාරීන්ට එරෙහිව වහාම හෝ ප්‍රමාද වී හෝ මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වන බවක් අපට දකින්නට නැත. "ආසියාවේ ආශ්චර්යය" කරා රට ගෙන යනවාය කියන ආණ්‌ඩුව මේ මහා පරිමාණ වැරැදිවලට එරෙහිව නිසි ලෙස ක්‍රියා නොකිරීම ගැන අපට කීමට ඇත්තේ එය "ආසියාවේ ආශ්චර්යය" කරා යන ගමනට එරෙහි වීමක් බවයි. එසේම එය එම වැරැදිවලට වගකිවයුතු නැති යුද ජයග්‍රහණයේදී මෙන්ම තවමත් රජයට ශක්‌තිය දෙමින් සිටින බහුතර මහජනයාට කරන බලවත් සතුරුකමක් ද වන බවයි. රාජ්‍ය අංශය තුළ සිදුවන මේ මහජන සතුරුකම් මුළුමනින්ම නතර වීම කෙසේ වෙතත් ඒවා හැකිතාක් උපරිම මට්‌ටමක් දක්‌වා අවම කර ගැනීමට රජය පියවර ගත යුතුව තිබේ. එය ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා රැගෙන යැමට අත්‍යවශ්‍ය දෙයකි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත - දිවයින පුවත් පත අනුග්‍රහයෙනි