සිය රක්ෂණ ඒකකය විකිණීම තුළින් ලැබූ මුදල් වලින් කොටසක් බැංකුවේ කළාපීය මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක රසල් ද මෙල් මහතා කියයි.
“අපි කළාපීය වශයෙන් බැංකුවේ කටයුතු පුළුල් කිරීම පිළිබඳව සොයා බලමින් සිටිනවා. සංවර්ධන බැංකුවක් ලෙස අපිට අවුරුදු 30 ක ඉතිහාසයක් තිබුණත් මේ වනවිට රට සේවා මධ්‍යස්ථානයක් බවට පත් වෙමින් තිබෙනවා. මේ නිසා, අපිට දැනෙනවා ලංකාවෙන් පිටත මෙහෙයුම් කටයුතු ඇරඹිය යුතුයි කියා.“
යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම කොළඹදී සඳහන් කළේය.
Aviva NDB රක්ෂණ සමාගමේ තමන් සතු කොටස් විකුණා දැමීමට සමාගම මේ වනවිට AIA සමාගම් සමූහය සමග ගිවිසුමකට එළඹී සිටී.
ජාතික සංවර්ධන බැංකුවට මේ වනවිටත් බංග්ලාදේශය තුළ ආයෝජන බැංකු මෙහෙයුම් කටයුතු තිබෙන අතර මාලදිවයිනේ කල්බදු සමාගමක කොටස්ද තිබේ.
බැංකුවේ ප්‍රධාන විධායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආයෝජන බැංකු කටයුතු වලින් එහාට ගොස් සිය මෙහෙයුම් බංග්ලාදේශය තුළ පුළුල් කිරීමටත් කළාපයේ අනිකුත් රටවල මෙහෙයුම් කටයුතු කිරීමටත් බැංකුව අදහස් කර තිබෙන බවයි.
මීට අමතරව, බැංකුව උතුරු-නැගෙනහිර ඇතුළුව දේශීය මෙහෙයුම් කටයුතුද මේ වනවිට පුළුල් කරමින් සිටී.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=954524536