2012 සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස හයක කාලය තුළදී මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන Vallibel One Plc හි, ශුද්ධ ලාභය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 21 කින් පහළ ගොස් රුපියල් මිලියන 796 ක්වී තිබේ.
ලාභ අඩුවීමට හේතුවී තිබෙන්නේ පිඟන් ගඩොල් (tiles) අංශයේ ලාභ පහළ යාමත් සමාගම් සමූහයේ මූල්‍ය පිරිවැය වැඩිවීමත් යන කාරණායි.
මෙම අර්ධයේදී සමාගම ලබා තිබෙන කොටසකට අදාළ ලාභය ශත 74 කි.
මෙම කාලයේදී සමාගමේ ආදායම සියයට 42 කින් වැඩිවී රුපියල් බිලියන 15.2 ක් වෙද්දී විකුණුම් පිරිවැය සියයට 53 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 10.7 ක්වී තිබේ.
මේ අනුව, දළ ලාභය සියයට 22 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 4.4 ක්වී ඇත.
සමාගමේ මූල්‍ය පිරිවැය මෙම කාල සීමාවේදී සියයට 154 කින් වර්ධනය වී රුපියල් මිලියන 596 ක්වී තිබේ.
වැලිබල් වන් සමාගම් සමූහයට සියයට 51 ක කොටස් අයත් එහි අනුබද්ධ සමාගමක් වන පිඟන් ගඩොල් නිපදවන රෝයල් සෙරමික්ස් සමාගමේ ලාභය රුපියල් මිලියන 794 ක සිට රුපියල් මිලියන 413 ක් දක්වා 2012 සැප්තැම්බර් වලින් අවසන් වන මාස හය තුළදී අඩුවී ඇත.
මේ අතර, ගිය වසරේ අදාළ කාලයේදී රුපියල් මිලියන 63 ක ලාභයක් ලැබූ සමූහයේ සනීපාරක්ෂක හා නාන කාමර කට්ටල නිපදවීමේ ව්‍යාපාරික කටයුතු වලින් ලැබූ ලාභය මෙවර රුපියල් මිලියන 110 ක් දක්වා වර්ධනය වී තිබීම කැපී පෙනේ.
තීන්ත නිපදවීමේ ව්‍යාපාරික කටයුතු වලින් මෙවර රුපියල් මිලියන 13.5 ක අලාභයක් ලබා ඇත්තේ ගිය වසරේදී අදාළ කාලයේදී ලැබූ රුපියල් මිලියන 7.5 ක ලාභයට සාපේක්ෂවයි.
මේ අතර, සමූහයේ මූල්‍ය ව්‍යාපාරික කටයුතු වලින් ලැබූ ලාභය මෙම කාල සීමාවේදී රුපියල් මිලියන 841 ක සිට රුපියල් මිලියන 941 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1884273780