Just put aside politics and read interesting facts.
Budget Speech 2015
අසාරෙ සාර මතිනො – සාරෙචා සාර දස්සිනො
තෙ සාරං නාධි ගච්ඡන්ති – මිච්ඡා සංකප්ප ගොචරා
නිසරු දෙය සරු දෙය ලෙස ද සරු දෙය නිසරු දෙය ලෙස ද තෝරා ගන්නා වූ වැරැදි සංකල්පයන්ට ගොදුරු වුණු පුද්ගලයා කිසිම දවසක සරු දෙය නිවැරැදිව හදුනා ගන්නට නොදන්නේය
වත්මන් ආණ්ඩුවේ මංගල අයවැයේ අවසාන දිනය අපට සිහිපත් කරන්නේ මෙම බුද්ධ වචනයයි. අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දී අපි සාධාරණ විවේචනයක් අයවැය පිළිබඳ ඉදිරිපත් කළා. ආණ්ඩුවේ නායකයින් ඒ අඩුපාඩු පිලිගන්නේ නැතිව ඒ අඩුපාඩු හදා ගන්නේ නැතිව අයවැය යෝජනා රකිමින් කතා කළා. මොකද්ද සිද්ධ වුණේ?
ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු අපි රකින්නේ නිවැරදි දේ යන අදහසේ ඉඳිමින් දෙසැම්බර් 02 දා ඉතාම ආඩම්බරයෙන් මේ අයවැයට පක්ෂව අත ඉස්සුවා. ඊට පස්සේ මොකද වුණේ?
අර අයවැයට පක්ෂව අත උස්සපු මන්ත්‍රිවරුන් ලැජ්ජාවට පත් කරමින් මුදල් ඇමතිතුමා අයවැය යෝජනා වෙනස් කරන්න පටන් ගත්තා. ඒක සාධාරණයි කියමුකො. මුදල් ඇමතිනෙ.
ජනපති මැදුරේ සිටිමින් ජනපති අයවැය වෙනස් කරනවා. අරලියගහ මැදුරේ ඉඳන් අගමැති අයවැය වෙනස් කරනවා.
ඒකත් කමක් නෑ කියමුකො.
ඊට පස්සේ ඇමතිවරුත් වැඩේට බැස්සා.
නවීන් දිසානායක ඇමතිතුමා කියනවා කුඩා තේ වතු හිමියන්ට පොහොර සහනාධාරය හිමි වෙනවා කියලා. එතකොට දුමින්ද දිසානායක ඇමතිතුමා නිකන් ඉන්නේ නෑ. එතුමා කියනවා අතිරේක බෝග වගාවන්ට පොහොර සහනාධාරය ලබා දෙනවා කියලා. අපේ මුදල් ඇමතිතුමාත් මගේ ඇමති සගයොනෙ. කමක් නෑ ඉතින් කියලා හිත හදා ගන්නවා.
ඊයේ වෙනවිට රාජ්‍ය ඇමතිවරුත් වැඩේට බැහැලා.
ඩිලාන් පෙරේරා ඇමතිතුමා ප්‍රකාශ නිකුත් කරනවා, බැංකුවෙන් මුදල් ඉවත් කරන විට බදු අය කරන්නේ නෑ කියලා. එතුමා කියනවා, ලීසිං සැපයීමේ අයිතිය යළි බැංකු වලට ලබා දෙනවා කියලා.
මේ හැමෝම එක පැත්තකින් මුදල් ඇමතිතුමාගේ අයවැය වැරදියි කියනවා. අනිත් පැත්තෙන් මුදල් ඇමතිගේ කාර්රය ඉටු කරනවා.
Frankly, I feel really sorry for the pathetic situation of Hon Finance Minister.
ඒ වගේම මේ සංශෝධන නිසා අසීරුතාවයට පත් වන්නේ මේ අයවැයට පක්ෂව අත උස්සපු මන්ත්‍රිවරුන්. මේ සංශෝධන කියන්නේ අයවැයට පක්ෂ වුණු අය වැරදියි කියන එකයි. අයවැයට විරුද්ධ වුණු අය නිවැරදියි කියන එකයි.
ආර්ථික විද්‍යාවේ කියනවා අයවැය වර්ග තුනක්.
ආදායම සහ වියදම සමාන සමබර අයවැය.
වියදමට වඩා ආදායම වැඩි අතිරික්ත අයවැය.
ආදායමට වඩා වියදම වැඩි හිඟ අයවැය.
අතිරික්ත අයවැයක් නම් මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට කියන්න ඕනෑ අතිරික්තයට මොකද කරන්නේ කියලා. ඒ වගේම හිඟ අයවැයක් නම් කියන්න ඕනෑ හිඟය පියවා ගන්නේ කොහොමද කියලා. මේවා මහජන මුදල්. මහජන මුදල් වලට වග කියන්න මේ පාර්ලිමේන්තුව බැඳිලා ඉන්නවා.
එහෙම නම් යම් ආදායම් යෝජනාවක් ඉවත් කර ගන්නා විට කියන්න ඕනෑ ඒකෙන් අහිමි වන ආදායම කොපමණ ද ඒක හොයා ගන්නේ කොහොමද කියලා. එහෙම නැතිනම් කියන්න ඕනෑ ඒ අහිමි වන ආදායමට ගැලපෙන්න කපා හරින වියදම කුමක්ද කියලා. නමුත් මෙතැනදී ඒක සිදු වුණේ නෑ.
මුදල් ඇමතිතුමා සිය පිලිතුරු කතාවේ සංශෝධන හරහා මතු වුණු හිඟය පියවා ගන්නේ කොහොමද කියලා කියන බව අපට ආරංචියි. නමුත් ඒක ප්‍රමාද වැඩියි. අයවැය යෝජනා ඉදිරිපත් කරලා දෙවරක් සම්මත කරන්න හේතුවක් තිබෙනවා. ඒ තමයි අයවැය සම්මත කරන්න කලින් මේ යෝජනා තුලින් ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කරන්න විවාද කරන්න මන්ත්‍රිවරුන්ට අවස්ථාව සැලසීමයි.
අඩුම ගණනේ දෙවන වර කියවීමේ අවස්ථාවේ දී මුදල් ඇමතිතුමා මේ සංශෝධන ඉදිරිපත් කළා නම් මේ පාර්ලිමේන්තුවට දින 17ක් තිබුණා එම යෝජනා සලකා බලන්න. අද මුදල් ඇමතිතුමා යෝජනා ඉදිරිපත් කරනවා. එතුමා වාඩි වෙනවා. ඊ ළඟ විනාඩියේ දී අයවැය පිළිබඳ ඡන්දය විමසනවා. මේ යෝජනා වල හොඳ නරක හිතන්න මන්ත්‍රිවරුන්ට එක විනාඩියක් තිබෙනවා ද?
මන්ත්‍රිවරුන් දවස් 10ක් විවාද කරලා පක්ෂව ඡන්දය දුන් දේ නරකයි කියලා දැන් මුදල් ඇමතිතුමා පිලි අරන් තිබෙනවා. ඉතින් එක විනාඩියක්වත් හිතන්න දෙන්නේ නැතුව අළුත් යෝජනා වලට අත උස්සන්නේ කොහොමද?
මේ අපරාධය මේ අහිංසක මන්ත්‍රිවරුන්ට කරන්න එපා. එක පාරක් පක්ෂ වෙලා ජනතාව ඉදිරියේ හොඳටම හෑල්ලු වෙලා ඉන්නේ. නැවත වතාවක් මේ ගරු මන්ත්‍රිවරුන්ව ජනතා ඉදිරියේ හෑල්ලු කරන්න එපා.
දෙවන වර කියවීමේ විවාදයේ දී පසුගිය මාස 11 ඇතුලත රුපියල බාල්දු වුණු ආකාරය පෙන්වා දීලා මේ පිළිබඳ ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මොකක්ද කියලා මම ඇහුව්වා. මුදල් ඇමතිතුමාගේ උත්තරේ මොකද්ද? අර ඔරුව පෙරලුනාම පෙරළුණු පිට හොඳයි කිව්වා වගේ එතුමා කියනවා, රුපියල බාල්දු වීම හොඳයිනෙ. ඒකෙන් අපනයන දිරිමත් වෙනවානෙ. ආනයන අදිරිමත් වෙනවානෙ. ඕක තමයි එජාපයේ හැමදාම කෝකටත් තෛලය. හැබැයි ඉතින් ජනාධිපතිතුමාගේ භාෂාවෙන් කියනවා නම් බම්බුව තමයි.
1977 දී 46%ක් රුපියල අවප්‍රමාණය කරලා ඩොලරය රුපියල් 16ක් කරන විට ලංකාවේ අපනයන ආදායම ආනයන වියදමට වඩා වැඩියි. අපිට වෙළඳ අතිරික්තයක් තිබුණේ. දැන් ඩොලරය රු 146යි. රුපියල 19 ගුණයකින් අවප්‍රමාණය වෙලා.
රුපියල අවප්‍රමාණය වෙන විට අපනයන දිරිමත් වෙනවා නම් ඒ වගේම ආනයන අදිරිමත් වෙනවා නම් අර 1977 දී තිබුණු වෙළඳ අතිරික්තය දැන් අඩුම ගණනේ 19 ගුණයකින් වැඩි වෙන්න ඕනෑ. ඒ වෙනුවට මොකද වෙලා තිබෙන්නේ? අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩි වෙලා වෙළඳ අතිරික්තය වෙළඳ හිඟයක් බවට පෙරලිලා. වෙළඳ හිඟය කෙතරම් දරුණු විධියට වර්ධනය වෙලා ද කිව්වොත් අපනයන ආදායමට වඩා වෙළඳ හිඟය වැඩියි.
අපේ රටේ රුපියල අවප්‍රමාණය කරලා වෙළඳ හිඟය අඩු කරන්න බෑ.
අපි අපනයන කරන්නේ ප්‍රාථමික භාණ්ඩ ඒ නිසා මිළ ලාභ වුණා කියලා මේවා වැඩිපුර මිළ දී ගැනීම් වෙන්නේ නෑ. හැබැයි අපි ආනයනය කරන්නේ ඉන්ධන, ඖෂධ, පොහොර, යන්ත්‍ර සූත්‍ර වගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ. රුපියල අවප්‍රමාණය වෙලා මේවායේ මිළ කෙතරම් ඉහළ ගියත් මේ භාණ්ඩ ආනයනය නොකර බෑ.
ඒ නිසා රුපියල අවප්‍රමාණය, රුපියල බාල්දු කිරීම වෙළඳ හිඟයට උත්තරයක් නොවේ.
අපනයන වර්ධනය පෙන්නලා රුපියල බාල්දු වීමෙන් ඇඟ බේරා ගන්න බෑ. ආණ්ඩුවට මේකට උත්තරයක් තිබෙන්න ඕනෑ. රුපියල ස්ථායිකරණය මේ ආණ්ඩුවේ වගකීමක්.
ආණ්ඩුවට උත්තර නැති වුණාට මට නම් උත්තරයක් තිබෙනවා. අපි වසර පහකට අපේ මුදල් ඇමතිතුමා ඇමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් කරමු. ඒ රටේ මුදල් ඇමති තමයි භාණ්ඩාගාර ලේකම් කියන්නේ. එතකොට රුපියල බාල්දු වෙන එක නතර වෙලා ඩොලරය බාල්දු වෙන්න පටන් ගන්නවා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යනවා. අපේ මුදල් ඇමතිතුමා වසර පහක් ඇමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් වුණොත් එක ඩොලරයට ගෙවිය යුතු රුපියල් ගණන රුපියල දක්වා පහත වැටෙන බව මට විශ්වාසයි.
අවසාන වශයෙන් මේ අයවැයෙන් කාට සහන නැතත් විපක්ෂයට සහන ලැබිලා තිබෙනවා. විපක්ෂයට කතා කරන්න මෙතරම් මාතෘකා දුන්නු විපක්ෂයට උද්ඝෝෂණ කරන්න මෙතරම් අවස්ථා දුන්නු අයවැයක් ලංකා ඉතිහාසයේම නෑ. සමහරවිට ලෝක ඉතිහාසයේත් නැති වෙන්න පුළුවන්.
ඔබ සැමට තෙරුවන් සරණයි!