එතුමාගේ පෞර්ෂය පිළිබඳ මේ රටේ මිනිසුන් දැන සිටියේ " නිවුනු මිනිසෙක්" ලෙසය. නමුත් 2015 මැතිවරණයට මුහුණ දීමේ සිට ඉන් ඉදිරියට එතුමා ඔහුගේ සත්‍ය ස්වභාවය පෙන්වීමට යාමෙන් අද එතුමා සමාජය තුල පත්ව ඇති තත්වය ඔහු විසින්ම ලඟා කරගත්තේය.
මෙහි මූලික තත්වය වූයේ මැතිවරණ සමයේ නරේන්ද්‍ර සිං මෝඩි මහතාගේ ආරූඩයෙන් සමාජය ඉදිරියේ පෙනී සිටීමයි.
සිරිසේන මහතා ජනාපති ධූරයට පත්වූයේ ඉන්දියානු හා ඇමරිකානු රහස් ඔත්තු සේවා විසින් එක්සත් ජාතික පක්ෂය හා හිටපු ජනපතිතුමිය හරහා කල විශේෂ මෙහෙයුමකින් බව මේ වනවිට පැහැදිලි වී හමාරය. නමුත් සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය " මෝඩිකරණය" කිරීමෙන් ඔහු මෙතෙක් රැකගෙන සිටි ශ්‍රී ලාංකීය සළකුණ අන් අයකුගේ අල්ලේ නැටවෙන "මපට්" කෙනෙක් දක්වා පරිවර්තනය විය. ඒ බව සමාජයට තවදුරටත් පසක් වූයේ ඡන්දයෙන් පසු ජනපති ලෙස පත් වූයේ සිරිසේන මහතා ද නැතිනම් වෙන අයෙකුද යන්න සිතා ගත නොහැකි ලෙස " ජනාධිපතිවරු පැටව් ගැසීම" නිසාය. (මම තමයි මෙතුමාව තෝරගත්තෙ, අපි තමයි එතුමාව ගෙනාවේ, එතුමා ඉන්න ඕන අපි කියන විදියට ලෙස විවිධ පිරිස් හුවා දැක්වීම ) මෙය ලංකාවේ ජනපතිවරයෙකු සම්බන්ධයෙන් කවර කලෙකවත් සිදු නොවූ " රටේ ජනාධිපතිවරයා" ලෙස රටේ ජනතාවගේ තිබූ ගෞරවය පලුදු කරන්නක් විය. ( විජේතුංග ජනපතිතුමා මෙවැනි තත්වයකට පත් නොවූයේය. ඔහු ජනපති ධූරයෙන් විශ්‍රාම ගන්නා තුරුම 'උඩරට ගැමියාගේ' ප්‍රතිරූපය රැක ගත්තේය ).
පසු කාලීනව සිරිසේන ජනපතිතුමා ජනපතිවරණ සමයේ පැවසූ ප්‍රකාශ මාධ්‍යවේදීන් ඇතුලු පොදු මහත් ජනතාවට විනෝදය සැපයුනු අතර බකින්හැම් මාලිගාවේ රත්තරන් අශ්වයා, අධිවේගී මහා මාර්ග වලට ඇස්තමේන්තු වියදමෙන් පහෙන් එකක (සමහර ඒවා හතෙන් එකක ) වියදමෙන් නිමා කරන බව දැක්වීම, ලැම්බෝගිනි කාර්, මූලික වැටුප රු. 10,000 කින් වැඩි කිරීම්, පවුල් සංග්‍රහ නොකිරීම ආදී අනේක විද ජනතාවට ඔප්පු කරන්න බැරි වූ ද මිහිපිට යථාර්තයක් බවට එතුමාගේ හැකියාවෙන් කල නොහැකි වූ ද පොරොන්දු, ප්‍රකාශ එළියට ඇදෙන්නට විය.
තමන්ට තීරණයක් ගත නොහැකි අවස්ථාවල දී "ආඳකු" මෙන් ලිස්සා යාමට නොපසුබට වන බව එතුමා ඉතා සුලු සිද්ධීන් වලින් පවා ජනතාවට පෙන්වීය. තම ආරක්ෂකයන් විසින් මාධ්‍යවේදීන් ට එතුමා හමුවීම වැලැක්වූ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් විසින් " ඕනෑම විටෙක තමා හමුවීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව උදා කරන බවට " එතුමා දුන් පොරොන්දුව මතක් කල විට (මෙය එසේ කිරීම ප්‍රායෝගික නොවන බව දැන දැනම මාධ්‍යවේදීන් විසින් එතුමාව 'බයිට්' කිරීමට සිදුකල ක්‍රියාවක් දැයි හැඟේ) ඉහලට ඇඟිල්ල දිගු කරමින් " වහින්න එනව, වහින්න ඒනව" යැයි ප්‍රකාශ කලේය. මෙය සාමාන්‍ය පුද්ගලයකු සම්බන්ධයෙන් සිනහ වී අමතක කල යුතු දෙයක් වුවද මින් ජනාධිපතිවරයා ලෙස එතුමාගේ පෞර්ෂයට දැඩි හානියක් සිදු විය. ( සමහර අවස්ථා වල දී සමර දේවල් ගැන වැඩිය ගණන් නොගෙන ක්‍රියා කිරීමෙන් අප අපටම දැඩි හානි කර ගන්නෙමු )
ජනතාවට විහිලු සැපයීම මගින් ප්‍රශ්න යට ගැසීමටත්, ප්‍රසිද්ධියේ කීමට බැරි දේවල් කීමටත් සෑම රජයකම විවිධ පුද්ගලයන් සැදී පැහැදීව ක්‍රියා කරන ආකාරය විවිධ කාල වල දී දක්නට ලැබේ. රණසිංහ ප්‍රේමදාස යුගයේ ඒ.ජේ.රණසිංහ මහතා ද,චන්ද්‍රිකා මැතිණියගේ කාලයේ ද මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ද පක්ශ විපක්ෂ දෙපසම සිටිමින් මර්වින් සිල්වා මහතා ද මෙතුමාගේ කාලයේ රාජිත සේනාරත්න හා එතුමාගේ පුත්‍රයා ද රන්ජන් රාමනායක මහතා ද, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද එස්.බී. දිසානායක මහතා ද ( එවැනි පිරිස් වැඩියෙන්ම සිටින්නේ ද මෙතුමාගේ කාලයේය ) එම කාර්ය මැනවින් සිදු කරති. එලෙස ප්‍රයෝජනවත් පිරිස් සිටිය දී ඔවුන් ට එම කාර්ය බාර නොකර "එන් රික් ඉග්ලෙසියස්" ගේ ප්‍රසංගයේ දී එවකට ගුවන් හමුදාපතිවරයාගේ, දියණිය විසින් සිදුකල නොසුදුසු ක්‍රියාවක් සම්බන්ධයෙන් කල ප්‍රකාශය ජනාධිපති සිරිසේන මහතාව ෆේස් බූක් හරහා ප්‍රහසනයට ලක්වීමට හේතු විය. (සත්‍ය වශයෙන් එතුමා එම ප්‍රකාශය හැඟීමෙන් සිදු කල එකක් වුව ද අප විසින් යමක් පැවසීමේ දී අපේ තරාතිරම කුමක් ද? අමතන්නේ කාව ද? අසා සිටින්නේ කවුරුන් ද? කතා කරන්නේ මොනවද? වශයෙන් අවබෝදයෙන් කතා කලයුතු බව ඉගෙන ගන්නේ කුඩා කල දී බව මෙය කියවන පාඨකයාට ද මතක් කර දිය යුතුය. )
අප කුඩා කල තාක්ෂණය නොදියුණු සමයේ දී අපට අත්විඳීමට නොහැකි අත්දැකීමක් එය අත්විඳි අයෙක් විස්තර කර දෙන විට "මැජික්" මෙන් අසා සිටිමු. සිරිස රූපවාහිනියේ මුල් අවදියේ දී විකාශය කල නාට්‍යක වසන්ති චතුරාණි මහත්මිය, කුඩා කල සිට කොළඹ ගෙයක මෙහෙකාර සේවයේ නියුතුව සිටි ගමේ ලඳකගේ චරිතය නිරූපණය කලාය. එම නාට්‍යයේ එක් සිදු වීමක දී ගමේ කඩේ දී ඇය විසින් කොළඹ බංගලාවේ ලද අත්දැකීමක් විස්තර කලේ " ගෙදර පූස, ඔසිමැන්ඩස්ටත් අසනීප වුනාම දොස්තර ලඟට ගෙනියන බව" කියාය. එහිදී ගැමියන් ඇගේ කතාව විශ්වාස නොකර ඇයට බැණ වදී. (ගමේ අහින්සක මනුස්සයකුට අසනීපයක් වූ විට දොස්තර ලඟට යාමත් මහා විශාල දෙය නිසාය.).
අපගේ ජනපතිතුමා එංගලන්ත සංචාරයක් නිමවා පැමිණ " බ්‍රිතාන්‍ය මහා රාජිණිය" ඔහුට අතට අත දෙන විට මේස් ගලවා අතට අත දුන් බව ජාතිය අමතාම කීවේ රටේ ජනතාව එම කතාව මැජික් ලෙස අසා සිටිය යුතු ද නැත්නම් ඔසිමැන්ඩස්ගේ කතාව මෙන් විශ්වාස නොකර සිටිය යුතු ද යන්න ගැන අවබෝධ කරගැනීමට පෙරය. අධිරාජ්‍ය විරෝධී මහා සටනක නිරත වී ලෙයින් කඳුලින් නිදහස ලබා සිටි ජනතාවකට එලිසබෙත් රැජිනගේ මේස් නැති අත ගැන රටේ ජනාධිපතිවරයා අගය කරමින් කතා කරන විට හැඟුන දේ වහ වහා ෆේස් බූක් හරහා 'පෝස්ට්' ලෙස එළිදැක්විනි.
මේ ඔස්සේ සිරිසේන මැතිතුමා එතුමාගේ අදීනත්වය මොනවට පැහැදිලි කර දුන්නේය.
රටේ දහසකුත් ප්‍රශ්න බුර බුරා නැගෙද්දී ඒවා ගැන කිසිදු සොයා බැලීමක් කරන බවක් රටේ ජනතාවට නොපෙන්වුව ද අමරදේව මහතා සමග අත්වැල් ගායනා කිරීම, අමරබන්දු රූපසිංහ මහතා කල ගායනා මතක් කර දීම, ආදී සාහිත්‍යමය කටයුතුවල එතුමා නිරන්තරයෙන් නිරත විය..
රටේ අන් කිසිවෙකුටත් කලින් ජනපතිවරයා දැන සිටිය යුතු තොරතුරු සියල්ල සිරිසේන ජනපතිතුමා දැන ගන්නේ පත්තරෙනි.
මේ සියල්ල මෙසේ සිදුවෙමින් තිබිය දී සිරිසේන ජනපතිතුමා රටේ තරුණ පිරිස් වලට හා අනෙකුත් ජනතාවට පවසන්නේ තමන්ට සියල්ලෝ කුණුහරුපයෙන් බණිනා බවයි. තවත් පෙන්වා දිය හැකි, පෙන්වා දිය යුතු කරුණු බොහෝමයක් පැවතිය ද ඒවා එලෙසින්ම දැක්විය යුතු නොවන්නේ ඒවා ජනතාව හොඳාකාරව දන්නා නිසාය.
මෙතුමා සම්බන්දයෙන් රටේ ජනතාව දරණ ආකල්පය මෙසේ සැකවින් දැක්විය හැක. එනම් මෙතුමා කවදා හෝ ජනපති ධූරයෙ ඉවත් වූ කල මෙතුමා ලඟම නෑදෑ හිතමිතුරන් පවා මෙතුමාගේ සමග කිසිදු දැන හැඳුනුම්කමක් තිබෙන බව කිසිවෙකුටත් හෙලි නොකරන බවයි.