එසේ වූවද රටේ දිගුකාලීන ආර්ථික දැක්‌ම සම්බන්ධයෙන් යම් නිශ්චිත පියවර ගත හැකි බව මේ සමඟම කිව යුතුයි. මේ ආණ්‌ඩුව බලයට පත්වූයේ ඉතාම දැඩි අභියෝග දෙකකට මුහුණ දෙමින්. එයින් එකක් වූයේ රට දැරිය නොහැකි භයානක විදේශීය ණය උගුලකට හසු වී තිබීම. දෙවැන්න වූයේ අන්තර් ජාතික සමාජය තුළ රට අයත් කරගෙන තිබූ අතිශයින්ම අයහත්පත්කාරී ප්‍රතිරූපය හේතුවෙන් අපේ රටට දෙන විදේශ ආධාර නැවතිලා තිබීම. කෙසේ වූවත් යහපාලන ආණ්‌ඩුව තුන්වන අවුරුද්දට පා තබන විට මෙම බැරෑරුම් ප්‍රශ්න දෙකම සතුටුදායක අන්දමින් කළමනාකරණය කරමින් රට නිශ්චිත මූල්‍ය ස්‌ථාවර තත්ත්වයකට ගෙනවිත් තිබෙන බව පෙනෙනවා. එමෙන්ම විදේශ විනිමය පිළිබඳවත් යම් ස්‌ථාවරභාවයක් ඇතිකර ගැනීමටත් යහපාලන ආණ්‌ඩුවට හැකි වී තිබෙනවා.
මේ අවස්‌ථාවේ රට මුහුණ දී තිබෙන ආර්ථික ගැටලු හා ප්‍රශ්න අතුරෙන් මුල් තැන ගන්නේ දිළිඳුකම සහ සේවා වියුක්‌තියයි. මෙයට අමතරව ජීවන වියදම ද සැලකිය යුතු ආර්ථික ප්‍රශ්නයක්. ලංකාවේ සේවා වියුක්‌තිය දෙස බලන විට පෙනීයන විශේෂම ලක්‍ෂණය වන්නේ අධ්‍යාපන සුදුසුකම් නැති අයට වඩා අධ්‍යාපන සුදුසුකම් සහිත අය සේවා වියුක්‌තියට ගොදුරු වී තිබීමය. අ. පො. ස. (උ. පෙ.) සමත් සහ උපාධිධාරීන් සේවා වියුක්‌තිකයන් අතරෙන් ප්‍රමුඛස්‌ථානය ගන්නවා. මෙම කණ්‌ඩායම් දෙක අතුරින්
විරැකියාවට වඩාත් ගොදුරු වී තිබෙන්නේ කාන්තාවන්. දිළිඳුකම සහ සේවා වියුක්‌තියයි. දිළිඳුකම සහ සේවා වියුක්‌තිය යන ප්‍රශ්න දෙකෙන් ගොඩ ඒම සඳහා අවශ්‍යයෙන්ම කළ යුතු කාර්යය වන්නේ රටේ ආදායම් උපදවන ආයෝජන කර්මාන්ත සහ ව්‍යාපෘති ඇරඹීමය. මෙසේ ආරම්භ කිරීම එක්‌කෝ රජය මගින් කළ හැක. නැතිනම් පෞද්ගලික අංශයේ ව්‍යාපාර ලෙස පටන් ගත හැක. එසේත් නැතිනම් තනි පුද්ගල ආයතන ලෙස පටන් ගත හැක. මේ සියල්ලට අමතරව රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය එක්‌ව ඒකාබද්ධ ව්‍යාපාර ලෙස ආරම්භ කළ හැක. මෙයාකාරයට ආදායම් උපදවන ආයෝජන කර්මාන්ත සහ ව්‍යාපෘති ඇරඹීම සඳහා රජයේ මූලික ආර්ථික වැඩපිළිවෙළ මගින් මෙන්ම මෙවර ඉදිරිපත් කළ අයවැය මගින්ද පියවර කිහිපයක්‌ම ගෙන තිබෙන බව පෙනී යනවා. මෙම පියවර අතුරින් ඉතාම වැදගත් එකක් හැටියට පෙන්වා දීමට පුළුවන් දිවයින පුරාම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම. නිදසුන් ලෙස පෙන්වා දීමට පුළුවන් කුඩා ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම මෙන්ම කොළඹ-මහනුවර වැනි ප්‍රධාන මහා මාර්ග සංවර්ධනය කිරීමට ආණ්‌ඩුව විසින් පියවර ගැනීම. මේ රටේ ආර්ථික කටයුතු වැඩියෙන්ම කෙරෙන්නේ බස්‌නාහිර පළාත, මධ්‍යම පළාත සහ සබරගමුව යන පළාත් තුන තුළය. රටේ ජනතාවගෙන් බහුතරය ජීවත් වන්නේද මෙම පළාmoney1ත් තුන තුළය. යටිතල පහසුකම් දියුණු කිරීමේදී මෙම පළාත්වලට ප්‍රමුඛ ස්‌ථානය දිය යුතු බවයි මගේ හැඟීම වන්නේ. මෙයට ඉහතින්ද දැක්‌වූ පරිදි ජීවන වියදම පිළිබඳ ප්‍රශ්නය ද රජය මුහුණ දී තිබෙන බරපතළ ආර්ථික ගැටලුවක්. මෙම ප්‍රශ්නය එදිනෙදා විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙසයි මම දකින්නේ. ජීවන වියදම පිළිබඳ ප්‍රශ්නය විසඳීම සඳහා මෙම අයවැය මගින් සාධනීය පියවරවල් කිහිපයක්‌ම ගෙන තිබෙන බව පෙනී යනව.
හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට සහ වරාය ආශ්‍රිත ප්‍රදේශය තුළ කර්මාන්ත සංවර්ධනය කිරීම විදේශ ආයෝජන ලබා ගැනීම සඳහා රජය ගෙන ඇති පියවර මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. මගේ පෞද්ගලික විශ්වාසය වන්නේ මෙම ව්‍යාපෘතිය රටේ සේවා වියුක්‌ති ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා බෙහෙවින් ඉවහල් විය හැකි බවය. ඒ වගේම කොළඹ මූල්‍ය නගරය පිළිබඳ ව්‍යාපෘතිය මේ රජය විසින් ඉහත සඳහන් කළ ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා ගෙන ඇති තවත් වැදගත් පියවරක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. මගේ පෞද්ගලික විශ්වාසය වන්නේ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සහ කොළඹ මූල්‍ය නගරය ව්‍යාපෘතිය යන ව්‍යාපෘතීන් දෙක පමණක් මෙරට විරැකියාව සහ දිළිඳුභාවය විශාල වශයෙන් අඩු කිරීමට දායක විය හැකි බවය. රටේ ජීවත් වන මිලියන විසි එකක් පමණ වන ජනතාව ගෙන බලන විට දෙන ලද ඕනෑම අවස්‌ථාවක එම ජන සංඛ්‍යාවෙන් විරැකියාවෙන් පෙළෙන්නේ සාමාන්‍යයෙන් මිලියනයක් පමණ වන ජනතාවය. මේ ජන කොටස අතර වයස්‌ගතවූවන් සහ දරුවන්ද සැලකිය යුතු ප්‍රමාණයක් සිටිනවා. එබැවින් මේ අයගේ සේවා වියුක්‌ති ප්‍රශ්නය විසඳීම සඳහා ඉහත ව්‍යපෘති දෙක හොඳටම ප්‍රමාණවත් බවයි මගේ විශ්වාසය වන්නේ. ඒ වගේම ඉදිරි වසර දහය තුළ රටේ ආර්ථිකය ශීඝ්‍ර සංවර්ධනයක් කරා ඇදගෙන යාමට මෙම ව්‍යාපෘති දෙක මගපාදනු ඇතැයි යන්න මම දැඩිව විශ්වාස කරනවා.
අනෙක් අතට රටේ විනිමය අනුපාතිකය ස්‌ථාවර මට්‌ටමක පවත්වා ගෙනයාම සඳහා ද මෙම ව්‍යාපෘති දෙක බෙහෙවින්ම ඉවහල් විය හැකි බව ප්‍රකාශ කළ හැකියි. හේතුව මෙම ව්‍යාපෘතීන් දෙක හරහා රටට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවීමය. විනිමය අනුපාතිකය ස්‌ථාවර මට්‌ටමක පවත්වා ගෙන යැම නියත ලෙසම උද්ධමනය පහළ යැම කෙරෙහි බලපානවා. හේතුව ආනයනික භාණ්‌ඩ වල මිල පහළ යැමට එය බලපාන බැවිනි. ආනයනික භාණ්‌ඩ දේශීය වෙළඳපොළේ ඇති භාණ්‌ඩ වලින් විශාල ප්‍රමාණයක් අයත් වන්නේ ආනයනික භාණ්‌ඩ වලට. කෙසේවුවත් උද්ධමනය පාලනය කිරීම විනිමය අනුපාතිකය ස්‌ථාවර මට්‌ටමක පවත්වා ගෙන යැම තුළින් පමණක් කළහැකි දෙයක් නොවෙයි. ඒ සඳහා ආර්ථික වර්ධන වේගය වැඩි කළ යුතුයි. එය අඩුම වශයෙන් 10% ක වාර්ෂික වේගයවත් පවත්වා ගෙන යා යුතුයි. මෙය කළ හැක්‌කේ එක් අතකින් ආයෝජනය වැඩි කිරීම තූළින්. අනෙක් අතින් ඵලදායිතාවය වැඩි කිරීම තුළින්. මෙම ද්විත්ව කාර්යයන් වර්ධනය කිරීම සඳහා ද රජය අයවැය මගින් සාධනීය පියවර කිහිපයක් අරගෙන තිබෙනවා.
මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්‌ඩා
ආර්ථික විද්‍යා අධ්‍යන අංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
http://divaina.com/sunday/index.php/visheshanga1/2171-operation-tracer-22