ඇමරිකාව වැනි රටවල සිදුවන නිශ්කාශන කටයුතු ලංකාව තුළ සිදුකිරීමට හැකිවන පරිදි මෙරට සියළුම විද්‍යුත් ගනුදෙනු එකතු කරන තනි යටිතල පහසුකම් පද්ධතියක් ගොඩනැගීමට ලංකා ක්ලියර් සමාගම සූදානම් වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව හා බලයලත් වාණිජ බැංකු වලට අයත් ලංකා ක්ලියර් සමාගම 2002 දී ජාතික චෙක්පත් නිශ්කාශන ආයතනය ලෙස ආරම්භ වුවත් මේ වනවිට එය ලංකාවේ ගෙවීම් කටයුතුවල යටිතල පහසුකම් සපයන ජාතික ආයතනය බවට පත්වී තිබේ.
ලංකා ක්ලියර් සමාගමේ විධායක නිළධාරී සුනිමල් වීරසූරිය පැවසුවේ මෙරට සියළුම විද්‍යුත් ගනුදෙනු එකතු කරන තනි යටිතල පහසුකම් පද්ධතියක් ගොඩනැගීමට මහ බැංකුවේ අවසරය ලැබී තිබෙන බවත් රුපියල් මිලියන 300 ක් පමණ වැයවන මෙම ව්‍යාපෘතිය වසර දෙකකින් පමණ අවසන් කිරීමට හැකිවනු ඇති බවයි.
“දැනට ලංකාවේ ATM යන්ත්‍ර 2500 ක් විතර තියනවා. මේවා ලංකාව තුළ එකම පද්ධතියකට සම්බන්ධ කර නැති නිසා ගනුදෙනු නිශ්කාශන කටයුතු සිදුවන්නේ ඇමරිකාව වගේ රටවල. මේ සඳහා පිරිවැයක් යන නිසා විවිධ බැංකුවල ATM යන්ත්‍ර වලින් ගනුදෙනු කරුවන් මුදල් ගැනීමේදී ගනුදෙනුවකට රුපියල් 30-60 අතර අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවනවා.“
“අපි ගොඩනැගීමට යන යටිතල පහසුකම් පද්ධතිය යටතේ මෙම යන්ත්‍ර එක පද්ධතියකට ගේනවා. එවිට අදාළ ගනුදෙනු නිශ්කාශනය වෙන්නෙ ලංකාවේ. මේ නිසා, නිශ්කාශන ගාස්තු අඩුකිරීමට බැංකු වලට අවස්ථාව ලැබෙනවා.“
යනුවෙන් වීරසූරිය මහතා කීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ ATM යන්ත්‍ර වලට අමතරව අනිකුත් විද්‍යුත් ගනුදෙනුද මෙම පද්ධතිය යටතට පත්කරන නිසා එම ගනුදෙනුවල පිරිවැයද අඩුකර ගැනීමට හැකිවනු ඇති බවයි.
“මේ නිසා, නිශ්කාශන කටයුතු සඳහා ඇමරිකාව වැනි රටවලට ඇදී යන ලංකාවේ මුදල් ඉතිරි කර ගැනීමට ලංකාවට අවස්ථාව ලැබෙනවා. ඇත්තටම අපිට කොතරම් විදේශ විනිමයක් මෙම ව්‍යාපෘතිය නිසා ඉතිරි කරගත හැකිදැයි ගණනය කිරීමට සූදානමිනුයි ඉන්නෙ.“
මේ වනවිට, සාර්ක් ගෙවීම් කවුන්සලයට අයත් රටවල්ද මෙවැනිම යටිතල පහසුකම් පද්ධති ගොඩනගමින් සිටින නිසා ලංකාවේ පද්ධතිය එම පද්ධති වලට ඉදිරියේදී සම්බන්ධ කිරීමට කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.
“එතකොට ඒ රටවල ඕනෑම ATM යන්ත්‍රයකින් ලංකාවේ ඕනෑම ATM පතක් භාවිතා කර මුදල් ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා. අපි හිතනවා මෙම ක්‍රමය මුලින්ම ඉන්දියාව සමග ඇතිකිරීමට පුළුවන් වේවි කියල.“
මැලේසියාවේ MEPS මූලික කොටගත් ගනුදෙනු ක්‍රියාවලී ජාලයට මේ වනවිට සිංගප්පූරුව, ඉන්දුනීසියාව, තායිලන්තය, චීනය හා මැලේසියාව සම්බන්ධ වී තිබෙන අතර එම රටවල වැසියන් ඉහත පැවසූ ආකාරයේ ප්‍රතිලාභ මේ නිසා අත්පත් කරගෙන සිටී.
ලංකා ක්ලියර් සමාගම වෙනස් වන වෙළඳ පොළ ප්‍රවණතාවයන් සැලකිල්ලට ගෙන නව අලෙවි හා සන්නාම අංශයක් පිහිටුවා තිබෙන අතර නව සමාගම් ලාංඡනයක්ද එළි දක්වා තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=967821600