අවසාන යාවත්කාලීන කිරීම : 2013 ඔක්තෝබර් 1 අඟහරුවාදා - 16:10 GMT
BBC Sandeshaya
'සම්පත් සහ ධනය ජීවත්වීමට අවශ්‍ය එකම දේ නොවන බව දර්ශකයෙන් සනාථ වෙනවා'
වැඩිහිටියන්ට ජීවත්වීම සඳහා සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට ඉහලම ස්ථානයක් හිමි වී තිබේ.
ජාත්‍යන්තර වැඩිහිටි සහ ළමා දිනයේදී නිකුත් කරන ලද වැඩිහිටියන්ට වාසය කිරීම සඳහා සුදුසු රටවල් පිලිබඳ දර්ශකයේ ඇතුලත් රටවල් අනූ එකක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ තිස් හය වැනි ස්ථානය.
අධ්‍යයනයට ලක් කරන ලද ආසියානු රටවල් අතුරින් සිවු වැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී සිටී.
වැඩිහිටියන්ට වාසය කිරීම පිණිස සුදුසුම රට ස්වීඩනය බව පවසන දර්ශකයේ පහලම ස්ථානය හිමි කර ගෙන තිබෙන්නේ ඇෆ්ඝනිස්ථානයයි.
පවුල් සම්බන්ධතා
ලොව පළමු වරට පවත්වන ලද මෙම සමීක්ෂණයට අනුව අසල්වැසි පාකිස්තානයට හිමි වී තිබෙන්නේ 89 වැනි ස්ථානය වන අතර, ඉන්දියාව සිටින්නේ 86 වැනි ස්ථානයේයි.
ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් ගෙන් සියයට අනූ අටක්ම පවුල් පරිසරයක ජීවත්වීම වාසනාවන්ත තත්වයක් බව හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධානී තිලක්ද සොයිසා බීබීසී සංදේශයට කියා සිටියේය.
දිළිඳු රටවල් වන මොරිෂස් සහ බොලීවියාවටද දර්ශකයේ ඉහල ස්ථානයන් හිමි වී තිබේ.
සම්පත් සහ ධනය ජීවත්වීම පිණිස අවශ්‍ය එකම දේ නොවන බව ශ්‍රී ලංකාවට දර්ශකයේ ඉහල ස්ථානයක් හිමි වීමෙන් සනාථ වන බවයි, විශ්ලේෂකයන් පවසන්නේ.
"ශ්‍රී ලංකාවේ වැඩිහිටි පරපුර මූලික අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සේවයේ ප්‍රතිඵල නෙලා ගනිමින් සිටින," බවයි අධ්‍යයනය පිළිබඳව දහස් දක්වමින් හෙල්ප්ඒජ් ජාත්‍යන්තරයේ අධ්‍යක්ෂ මාර්ක් ගෝමන් පවසන්නේ.