ජල විදුලිය උත්පාදනය කරන මෙරට ජලාශවල ජලය ජූලි 05 වනදා වනවිට සියයට 25 ක් දක්වා අඩුවී තිබෙන බවත් තාප විදුලිය විදුලි උත්පාදනයෙන් සියයට 85 ක් දක්වා වැඩිවීම නිසා විදුලි බල මණ්ඩලය දිනකට රුපියල් මිලියන 200 ක පමණ පාඩුවක් ලබන බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා කියයි.
ජල විදුලි උත්පාදනය
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ බව සඳහන් කළ අතර වැසි නොලැබීම හමුවේ ගිගාවොට් පැය 1620 ක ජල විදුලි බලයක් නිපදවීමට ජලය රඳවාගත හැකි ජලාශවල මේ වනවිට ඇත්තේ ගිගාවොට් පැය 301.6 ක විදුලි බලයක් නිපදවීමට අවශ්‍ය ජලය පමණක් බව කීය.
මේ අනුව, කාසල්රී ජලාශයේ ජල මට්ටම සියයට 12.9 ක් දක්වාත් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සියයට 38.8 ක් දක්වාත් කොත්මලේ ජලාශයේ ජල මට්ටම සියයට 33.2 ක් දක්වාත් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 13.1 ක් දක්වාත් රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම සියයට 33.1 ක් දක්වාත් සමනල වැව ජලාශයේ ජල මට්ටම සියයට 19.5 ක් දක්වාත් අඩුවී තිබේ.
මෙවැනි තත්ත්වයක් තුළ විදුලි බල මණ්ඩලය මේ වනවිට සමස්ත විදුලිබල උත්පාදනයෙන් සියයට 14.6 ක් පමණ ජලයෙන් සිදුකරන අතර සියයට 85.4 ක්ම සිදුකරන්නේ වැඩිමිල ඩීසල් විදුලිය ඇතුළු ගල් අඟුරු බලාගාරයද අයත්වන තාපය මගිනි.
විදුලිය කප්පාදු නොකිරීමට උපරිම උත්සාහය
මේ නිසා, ඉදිරියේදී විදුලිය කප්පාදු කිරීමකින් තොරව ලබාදීමට බලශක්තිය සංරක්ෂණය කිරීම වැදගත් බවත් දිනකට ගිගාවොට් පැය 1.6 ක් සංරක්ෂණය කර ගැනීමට සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එවැනි සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තාප බලාගාර උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක කරමින් ලබන සැප්තැම්බර් මාසයේ වැසි ලැබෙන තෙක් විදුලිය කප්පාදු කිරීමකින් තොරව ලබාදිය හැකිබව අමාත්‍යවරයා පැවසීය.
දැවැන්ත අලාභය
පසුගිය පෙබරවාරි 13 වනදා සිට පුත්තලම ගල් අඟුරු බලාගාරය අද දක්වා නොනවත්වා විදුලිය උත්පාදනය කරමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා පැවසුවේ දිනකට ගිගාවොට් පැය 06 ක විදුලියක් අදාළ බලාගාරයෙන් ලබාදෙන බවත් එහි විදුලිය ඒකකයක් නිපදවීමේ පිරිවැය රුපියල් 6.50 ක් පමණ වන බවයි.
ජල විදුලිය ඒකකයක් නිපදවීම සඳහාත් වැය වන්නේ රුපියල් 6.00-6.50 අතර මිලක් වන අතර ඩීසල් දහනයෙන් තාප විදුලිය නිපදවීමට රුපියල් 70 ක පමණ පිරිවැයක් යනබව හෙතෙම පැවසීය.
පසුගිය පෙබරවාරියේදී රජය විසින් ඉන්ධන මිල වැඩිකිරීමෙන් පසුව විදුලි බල මණ්ඩලයේ වියදම සියයට 60 කින් පමණ වැඩිවූ නමුත් විදුලි අධි භාරයක් පැනවීම මගින් ලබා ගැනීමට හැකිවූයේ සියයට 23 ක පමණ ආදායම් වැඩිවීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන මිල වැඩිකිරීමට පෙර මණ්ඩලයේ රුපියල් මිලියන 50 ක්වූ දිනක පාඩුව ඉන්ධන මිල වැඩිකිරීමෙන් පසුව රුපියල් මිලියන 200 ක් දක්වා වැඩිවූ බවයි.
“අපි බලාපොරොත්තු වෙනවා, මෙම පාඩුව පිළිබඳව මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරන්න. විදුලි බල මණ්ඩලයේ අලාභ කියන්නේ කර්මාන්තවල ලාභයක්.“
යනුවෙන් මෙම දැවැන්ත අලාභ පිළිබඳව අප ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා පැවසීය.
දේශපාලන ජනප්‍රියත්වය
දේශපාලන ජනප්‍රියත්වය උදෙසා අඩු මිලට විදුලිය හා ඛනිජ තෙල් ලබාදීමෙන් විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව යන රාජ්‍ය ආයතනවල ණය බර වැඩිවූ අතර එය විනිමය අනුපාතය මත පසුගිය කාලයේදී ඇතිකළේ පීඩනයකි.
මෙම පීඩනය හමුවේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම වැලැක්වීමට මහ බැංකුව සිදුකළේ විදේශ සංචිත විකුණමින් මැදිහත්වීමයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස විදේශ සංචිත මහා පරිමාණයෙන් දියවී ගිය අතර බැරිම තැන මහ බැංකුව විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබා දුන්නේය.
මේ වනවිට, රුපියල දැඩි පසුබෑමකට ලක්ව තිබුණත් මහ බැංකුව පවසන්නේ එය වෙළඳ පොළේ සෑබෑ තත්ත්වයක් පිළිබිඹු කිරීමක් නොවන බවයි.
කෙසේවෙතත්, මහ බැංකුවට චෝදනා කරමින් ඇතැම් පිරිස් පවසන්නේ මේ වනවිට රුපියල වැටී තිබෙන්නේ මෙරට ආර්ථිකයේ සැබෑ ස්වරූපය පෙන්නුම් කරන අගයක් දක්වා බවයි.
වැසි නොලැබීම හෝ අඩු මිලට විදුලිය විකිණීම වැනි හේතු නිසා දිගින් දිගටම විදුලි බල මණ්ඩලය වැනි ආයතන පාඩු ලැබීම ඉදිරියේදී වැලැක්විය යුත්තේ රටේ මූල්‍ය පද්ධතිය අස්ථාවර කිරීමට මෙම ආයතනවල මහා පරිමාණ අලාභ හේතුවන නිසයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1514664852