උද්ධමනය වැඩි වෙමින් තිබුණද බැංකු පොලී අනුපාතය තීරණය වීමට බලපාන සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය ජූලි මාසයේදීද වෙනස් නොකිරීමට මහ බැංකුව තීරණය කරයි.
මේ අනුව, ආර්ථිකයට ද්‍රවශීලතාවය ඇතුළු කරන පොලී අනුපාතය සියයට 9.75 ක් ලෙස නොවෙනස්ව තබා ගැනීමට බැංකුව තීරණය කරන අතර මේ වනවිට බැංකු ක්‍රමයෙන් ගලායන ණයවල හා මුදල් සැපයුමේ වර්ධනය අඩුවී ඇත.
මහ බැංකුව පවසා තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අදාළ ජුනි මාසයේ ඉලක්ක ලඟාකර ගැනීමට ලංකාව සමත්ව තිබෙන බවයි.
ජුනි මාසය අවසන් වනවිට මෙරට සතුව ඩොලර් මිලියන 5,815 ක විදේශ සංචිතයක් ඇතැයි බැංකුව පවසා තිබෙන අතර මෙරට උද්ධමනය සියයට 9.3 ක් දක්වා වැඩිවුණි.
මෙම කාලයේදී රුපියල 110 ක පමණ මට්ටමක සිට 133 ක් වැනි අගයක් දක්වා විශාල ලෙස අවප්‍රමාණය විය.
ගිය වසරේදී බැංකු ක්‍රමයෙන් ගලාගිය ණය ප්‍රමාණය විශාල ලෙස වැඩිවෙද්දී මේ වසරේ මැයි දක්වා රජය බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය ප්‍රමාණය සියයට 44.7 කින් වැඩිවී තිබේ.
මීට අමතරව, මැයි දක්වා රාජ්‍ය ව්‍යවසායන් ලබාගත් ණය සියයට 107.7 කින් වැඩිවී ඇත. ජනප්‍රිය තීන්දුවක් ලෙස ඛනිජ තෙල් හා විදුලිය වෙළඳ පොළ මිලට අඩුවෙන් ලබාදීමට තෙල් සංස්ථාව හා විදුලි බල මණ්ඩලය ණයවී තිබීම මෙම ණය වැඩිවීමට හේතුවයි.
මේ අතර, බැංකු පද්ධතියට රුපියල් සංචිත ඇතුළු කිරීමට මහ බැංකුව රුපියල් බිලියන 200 කට වැඩි මුදල් ප්‍රමාණයක් අච්චු ගසා තිබෙන අතර වෙළඳ හිඟය, ජංගම ගිණුමේ හිඟය හා ගෙවුම් ශේෂ හිඟය මේ වනවිට දරා ගැනීමට නොහැකි තරමට ඉහළ ගොස් ඇත.
මෙවැනි තත්ත්වයක් තුළ පසුගිය පෙබරවාරියේදී ඛනිජ තෙල් මිල ගණන් රජය ඉහළ දැමූ අතර පසුව විනිමය අනුපාතය අර්ධ වශයෙන් නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබාදුන්නේය.
මහ බැංකුව පවසා තිබෙන්නේ M2b යනුවෙන් හඳුන්වන පුළුල් මුදල් සැපයුමේ වර්ධනය සියයට 20.9 ක් දක්වා මැයි මාසයේදී අඩුවී තිබෙන බවත් ගෙවුණු අප්‍රේල් මාසයේ එහි වර්ධනය සියයට 29.9 ක්වූ බවයි.
එසේම, මැයි මාසය වනවිට පුද්ගලික අංශය බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය මාර්තු මාසයේ වූ සියයට 35.2 ක සිට සියයට 33.5 ක් දක්වා අඩුවී තිබෙන බව මහ බැංකුව කියයි.
මේ වසරේ මුල් මාස පහ තුළදී ආනයන වියදම් ගිය වසරට සාපේක්ෂව විශාල ලෙස අඩුවෙමින් තිබෙන නිසා වෙළඳ හිඟයද අඩු වෙමින් තිබෙන බව ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් මහ බැංකුව පවසා තිබේ.
ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන දුර්වල ඉල්ලුම හමුවේ ලෝක වෙළඳ පොළේ භාණ්ඩවල මිල ගණන්ද පහළ යන ප්‍රවණතාවයක් ඇතැයි පෙන්වා දී තිබෙන බැංකුව පවසා තිබෙන්නේ එයද මේ වසරේ මෙරට ආනයන වියදමට සහනයක් වනු ඇති බවයි.
කෙසේවෙතත්, අනිත් අතට ගෝලීය ආර්ථික අවපාතය මෙරට අපනයන වෙළඳ පොළට පහරක් එල්ල කිරීමේ අවධානමක් ඇත.
මෙවැනි තත්ත්වයක් තුළ මහ බැංකුව සිය ප්‍රති විකුණුම් පොලී අනුපාතය ජූලි මාසයේදී සියයට 9.75 ක් ලෙසත් ප්‍රති මිලදී ගැනීමේ පොලී අනුපාතය සියයට 7.75 ක් ලෙසත් නොවෙනස්ව තබා ගැනීමට තීන්දු කර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=828917229