යුද ජයග්‍රහණයෙන් පසු අපේ කොටස් වෙළෙඳපොළ බොහෝ ඉහළ යන්නට පටන් ගත්තේය. වර්ෂ 2009 දී අපේ කොටස් වෙළෙඳපොළේ සමස්‌ත මිල දර්ශකය සියයට 129 කින් වර්ධනය විය. එසේම 2010 වසරේදීත් අපේ කොටස් වෙළෙඳපොළ දිගින් දිගටම වර්ධනය වෙමින් තිබුණු බැවින්, එම වර්ධන ප්‍රවණතාව හමුවේ සුළු පරිමාණ මෙන්ම මහා පරිමාණ අයෝජකයන් විශාල පිරිසක් අපේ කොටස් වෙළෙඳපොළට සම්බන්ධ විය. එවකට පොලී අනුපාත පහළ මට්‌ටමක පැවැති බැවින් කොටස් වෙළෙඳපොළෙන් වැඩි ප්‍රතිලාභයක් ලබාගැනීම ඔවුන්ගේ අපේක්‍ෂාව වූ බව රහසක් නොවේ.
කොටස් වෙළෙඳපොළ තුළ තිබූ මේ ඉහළ වර්ධනය අතරේ තවත් විශේෂ දෙයක්‌ද සිදු වෙමින් පැවතුණි. එනම් 2010 ජුලි මාසය පමණ වනවිට ඇතැම් සමාගම්වල කොටස් මිල ගණන් ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ යන්නට පටන් ගැනීමයි. මේ අනුව සමහර සමාගම්වල කොටස් මිල ගණන් දිනකට සියයට 100 ක් වැනි විශාල අගයකින් ඉහළ යනුද දක්‌නට ලැබුණු දෙයකි. එක් දිනක් තුළ මෙතරම් විශාල අගයකින් කොටස් මිල ගණන් ඉහළ යැමේ තත්ත්වය තුළ කිසියම් වරදක් තිබෙන බවත්, මෙය කොටස් මිල ගණන් කෘතිම ලෙස හැසිරවීමක් බවත් බොහෝ අයට පෙනී ගිය දෙයක් විය. මේ තත්ත්වයට පිළියම් යෙදීමට පසුව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ක්‍රියාත්මක වී සියයට 10 ක මිල පරාස නීතිය හඳුන්වා දෙන ලදී. මෙමගින් සිදු කළේ දිනකට කොටස් මිල ගණන් ඉහළ හෝ පහළ යැ හැකි උපරිම සීමාවක් නියම කිරීමයි.
මේ මිල පරාස නීතිය ගෙන ඒමත් සමග බොහෝ දෙනෙක් සුරැකුම්පත් හා විනිමය කොමිසම පිළිබඳවද කතා කරන්නට පටන් ගත්තේය. අලුතින් හඳුන්වා දුන් මිල පරාස නීතිය ගැන විශාල සංවාදයක් ඇති වුණා. මෙහිදී සුරැකුම්පත් හා විනිමය කොමිසමට බොහෝ හොඳ සහ නරක යන ප්‍රතිචාරයන්ට මුහුණ දීමට සිදු විය. ඇතැම් ආයෝජකයන් මෙහිදී චෝදනා කර සිටියේ සුරැකුම්පත් හා විනිමය කොමිසමට චෝදනා කරමින් කියා සිටියේ එම කොමිසම කෘතිම ලෙස කොටස් වෙළෙඳපොළ මිල ගණන් පාලනය කිරීමට උත්සාහ දරන බවයි. මේ සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිසම කීවේ ඇතැම් සමාගම් කොටස් මිල ගණන් විශාල ලෙස ඉහළ නැගීම සිදුවන්නේ යම්කිසි කුඩා කණ්‌ඩායමක් විසින් (ආයෝජකයන් සුළු පිරිසක් විසින්) කොටස් මිල ගණන් කෘතිම ලෙස පාලනය කිරීම නිසා බවයි.
අලුතින් මිල පරාස නීතිය පැනවීම හමුවේ සුමාන එකහමාරක පමණ කාලයක් කොටස් වෙළෙඳපොළ පසුබෑමට ලක්‌වූ අයුරු අපට නිරීක්‍ෂණය කළ හැකි විය. එහෙත් ඉන් පසු නැවත කොටස් වෙළෙඳපොළ ඉහළ යන්නට පටන් ගත්තේය. මේ අතරතුර සිදුව තිබූ තවත් දෙයක් වූයේ කොටස් වෙළෙඳපොළේ ඉහළ යැම මත කිසියම් ආයෝජකයන් පිරිසක් විශාල වශයෙන් මුදල් ණයට ගෙන කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට පටන් ගැනීමයි. තැරැව්කාර ආයතන ද එම ආයෝජකයන් ද විශාල වශයෙන් ණය ලබාදී තිබිණි. 2010 වසරේ මැද වනවිට කොටස් තැරැව්කාර ආයතන මගින් තම ආයෝජකයන්ට ලබාදී තිබුණු මුළු ණය ප්‍රමාණය රු. බිලියන 6 (රු. කෝටි 600) ද ඉක්‌ම ගොස් තිබුණු බවද සඳහන් කළ යුතුය. මේ ණය ප්‍රමාණය සපයා තිබුණේ 25 ක් පමණ වූ තැරැව්කාර ආයතන ප්‍රමාණයකිනි.
මේ පසුබිම තුළ සුළු මුදල් ප්‍රමාණයක් අතේ තබාගෙන, විශාල වශයෙන් ණය ලබාගෙන, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට ඇතැම් ආයෝජකයන් පුරුදු විය. එය ණය බුබුලක් දක්‌වා වර්ධනය වී පුපුරා යැමෙන් ඇතිවිය හැකිව තිබෙන අනර්ථකාරී තත්ත්වය හේතුවෙන් ඒ සඳහා ද පිළියම් යෙදීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම පියවර ගත්තේය. එනම් තැරැව්කාර ආයතන විසින් තම ආයෝජකයින්ට ලබාදෙන ණය ප්‍රමාණය සීමා කරන්නැයි සුරැකුම්පත් හා විනිමය කොමිසම කියා සිටි අතර මෙයට ඇතැම් ආයෝජකයන් මෙන්ම තැරැව්කාර ආයතනද විරුද්ධ විය. මේ නීතිරීති නිසා කොටස් වෙළෙඳපොළ පසුබෑමට ලක්‌වනු ඇතැයිද ඔවුහු කියා සිටියහ. කොටස් වෙළෙඳපොළ නියාමන කටයුතු ඉවත් කරන්නැයි ඔවුන්ගෙන් දැඩි බලපෑම්ද එල්ල වන්නට විය. තැරැව්කාර ආයතනවලට ණය සීමාවන් පැනවීමෙන් කොටස් වෙළෙඳපොළේ වර්ධනය පසුබෑමට ලක් වූ බවද අපට මතකය.
විශාල වශයෙන් ණය ලබාගෙන කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමෙන් ඇතිවන අනර්ථය ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිසම කියා සිටියේ කිසියම් ආයෝජකයෙක් තමා ලබාගත් ණය නොගෙවා සිටියහොත් ඒ තුළ මුළු කොටස් වෙළෙඳපොළම අනතුරට ලක්‌විය හැකි බවයි. එවැන්නක් වුවහොත් එය කොටස් වෙළෙඳපොළට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම අවාසිදායක තත්ත්වයකි. ණය සීමාවන් පැනවීමෙන් පසු කොටස් වෙළෙඳපොළ වර්ධනය වීමේ තත්ත්වය අඩු වුවද, කොටස් මිල ගණන් උච්චාවචනය වෙමින් කොටස් වෙළෙඳපොළේ සුළු ඉහළ යැමක්‌ද දක්‌නට ලැබුණි. එහෙත් 2011 පෙබරවාරි මාසයෙන් පසු කොටස් වෙළෙඳපොළ පහත වැටෙන්නට පටන් ගත් අතර මේ සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිසමට බොහෝ චෝදනාවලට මුහුණ දීමටද සිදුවිය.
මේ අතර තවත් දෙයක් ද සිදුවෙමින් පැවැතිණි. එනම් මුලින් සඳහන් කළ පරිදි ඇතැම් සමාගම්වල කොටස් මිල ගණන් කෘතිම ලෙස ඉහළ නැංවීමට වගකිව යුත්තන් කවුදැයි සෙවීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම පටන්ගෙන තිබීමයි. එහිදී යම් අක්‍රමිකතාවක් සිදුව තිබේද යන්න එම කොමිසම විසින් විමර්ශනය කරන ලද අතර එයටද ඇතැම් පාර්ශවයන් නොසතුට පළ කළහ. බොහෝ දෙනෙක් අපේක්‍ෂා කළේ කොටස් වෙළෙඳපොළ නොකඩවා වර්ධනය වනු ඇතැයි කියාය. එහෙත් එසේ නොවී කොටස් වෙළෙඳපොළ දිගින් දිගටම පසුබෑමට ලක්‌වන්නට විය. මේ පසුබෑමට දිගින් දිගටම චෝදනාවට ලක්‌වූයේ සුරැකුම්පත් හා විනිමය කොමිසමයි. එම කොමිසම විසින් දියත් කළ නියාමන ක්‍රියාවලියයි. මේ තත්ත්වය තුළ කොටස් තැරැව්කාර ආයතනවලට පනවා තිබූ ණය සීමාවන් විටින් විට ලිහිල් කිරීමද සිදුවිය.
සාමාන්‍යයෙන් ඉහළ යන කොටස් වෙළෙඳපොළකින් ණය ලබාගෙන ආයෝජනය කරන්නන්ට වාසි ලබාගත හැකි වූවත්, පහළ වැටෙන කොටස් වෙළෙඳපොළ තත්ත්වයකදී ණය ලබාගෙන
කොටස්‌වල මුදල් ආයෝජනය කළ අයට පාඩු විඳීමට සිදුවේ. ඔවුන්ට අපේක්‍ෂා කරන ලාභ නොලැබීමට අමතරව ලබාගත් ණය ගෙවීමට අපහසු තත්ත්වයක් ද ඇති වෙයි. ඒ අනුව ණය අරන් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට යොමුව සිටි සුළු පරිමාණ සහ මහාපරිමාණ යන ආයෝජකයන් දෙපාර්ශ්වයටම ඉතා අවාසි සහගත තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය.
මේ අතර 2011 වසරේ අගදී කොටස් තැරැව්කාර ආයතන විසින් ජනාධිපතිවරයා හමු වී ඔවුන්ගේ ගැටලු ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබිණි. අපට දැන ගන්නට ඇති පරිදි ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ තමන්ට පනවා ඇති ආයෝජකයන්ට ණය ලබාදීමේ සීමාවන් ඉවත් කර ගැනීමයි. මෙම හමුවෙන් පසු ඇති වූ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ එතෙක් සභාපතිනිය ලෙස කටයුතු කළ ඉJද්‍රdණි සුගතදාස ඉල්ලා අස්‌වූවාය. ඇය සභාපතිනිය ලෙස අවංකවත් සෘජුවත් කටයුතු කළ නිලධාරිනියකි. ඇයගේ අස්‌වීමට හේතුව විමසූ විට ඇය මේ ලියුම්කරුට කීවේ හෘදය සාක්‍ෂියට එකඟ ව තවදුරටත් රාජකාරී කටයුතු කළ නොහැකි නිසා තමා ඉල්ලා අස්‌වන බවත් එය කිසිසේත් ම පුද්ගලික තීරණයක් නොවන බවත්ය. ඒ නිසා ඇය ඉල්ලා අස් වූයේ අවංකවත් සෘජුවත් කටයුතු කිරීමට එරෙහිව ඇයට එල්ල වූ විවිධ බලපෑම් නිසා බව අපට පැහැදිලිය. ඇයගේ ඉල්ලා අස්‌වීමට පෙර කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ මලික් කාදර් මහතාව ද මුදල් අමාත්‍යාංශයට මාරු කර යවා තිබිණි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ නියාමනය කරන ආයතනය වූ සුරැකුම්පත් හා විනිමය කොමිසම මුළුමනින් ම අරාජික තත්ත්වයට පත් විය. කොටස් වෙළෙඳපොළ තම තනි බූදලයක් කර ගැනීමට ක්‍රියාකරන සුළු පිරිසකගේ අරමුණු මේ තුළින් තාවකාලිකව ඉටුකර ගත හැකි විය. මේ අතර ජනාධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන තිලක් කරුණාරත්න මහතාව සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස පත් කරන ලදී. ඒ ගිය වසරේ (2011) දෙසැම්බර් මාසයේදී ය. ඔහු ද ඇතැම් අයට අවශ්‍ය පරිදි කටයුතු කරන පුද්ගලයකු වෙනුවට සමස්‌ත කොටස් වෙළෙඳපොළේ සහ පොදුවේ ආයෝජකයන්ගේ හිත සුව පිණිස කටයුතු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලද අතරම ඒ වන විට අඩපණව පැවැති විමර්ශන ගණනාවක් ද නැවත පටන් ගන්නා ලදී. තිලක් කරුණාරත්න මහතා ද කොටස් වෙළෙඳපොළ සුළු පිරිසක් විසින් පාලනය කරන තත්ත්වය වෙනුවට එය කිසියම් නීතිමය රාමුවක් යටතේ ගමන් කරවීමට බොහෝ උත්සාහ ගන්නා බව ක් ද දක්‌නට ලැබිණි. කෙසේ වෙතත් ඔහු පත්වීමෙන් පසු සියයට 10 ක මිල පරාස නීතිය ඉවත් කළ අතරම කොටස් තැරැව්කාර ආයතනවලට තම ආයෝජකයන්ට ණය ලබා දීමට පනවා තිබූ සීමාවන් ද කිසියම් දුරකට ලිහිල් කරන ලදී. එසේ ලිහිල් කරනු ලැබූවත් කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතාවලට එරෙහිව විමර්ශන කටයුතු සිදු කිරීම ද අඛණ්‌ඩව සිදු කරනු ලැබිණි. ඔහු වරක් එළිපිටම ප්‍රකාශ කර තිබුණේ කොටස් වෙළෙඳපොළ තුළ අක්‍රමිකතා සිදු කරන මාµsයාවක් සිටින බවත් ඊට එරෙහිව කටයුතු කරන බවත් ය.
මිල පරාස නීතිය ඉවත් කිරීම සහ කොටස් තැරැව්කරුවන්ට පනවා තිබූ ණය සීමාවන් ලිහිල් කිරීම යනාදිය සිදු කිරීමෙන් පසුවද කොටස් වෙළෙඳපොළේ වර්ධනයක් සිදු නොවිණි. මේ පසුබෑමට බලපෑ හේතු අතර වර්තමානයේ පවතින ඉහළ පොලී අනුපාත, ලෝක ආර්ථික අර්බුදය, රටේ පවතින ආර්ථික වාතාවරණය, ණය වර්ධනයට සීමා පැනවීම, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කොටස් ගනුදෙනුවෙන් කොටස් වෙළෙඳපොළ සම්බන්ධව විශ්වාස පළුදුවීම මෙන්ම ඊ.පී.එෆ්. කොටස් වෙළෙඳපොළ ආයෝජනයන් සම්බන්ධයෙන් ඇති වූ ව්‍යාකූල තත්ත්වන් ද අඩුවැඩි වශයෙන් හේතු වී තිබේ. කෙටියෙන්ම කියන්නේ නම් අලුතින් ආයෝජකයෙක් කොටස් වෙළෙඳපොළට නොයන තරමට කොටස් වෙළෙඳපොළ පිළිබඳව විශ්වාසය මේ වන විට පිරිහීමකට ලක්‌ව තිබේ. මෙසේ කොටස් වෙළෙඳපොළ පහළ වැටී තිබෙන තත්ත්වය හමුවේ ණයට ආයෝජනය කළ ඇතැම් අයට තම ණය ගෙවාගත නොහැකිව ණය උගුලකට හසුවී සිටින බව ද අපි දනිමු.
මේ ඇතැම් මහා පරිමාණ ආයෝජකයනගේ පෞද්ගලික ණය ප්‍රමාණය රු. බිලියනය ද ඉක්‌මවා ගොස් ඇති බව ද වාර්තා වේ. ඔවුහු තම වැඩි මිලට ගත් කොටස් විකුණාගත නොහැකිව සිර වී සිටිති. කොටස් වෙළෙඳපොළ පසුබෑමට ඇතැම් අය කියා සිටි ප්‍රධාන කරුණක් වූයේ අධි නියාමනය ඊට හේතු වූ බවයි. එහෙත් සුරැකුම්පත් හා විනිමය කොමිසම කීවේ මනා නියාමනය තුළින් කොටස් වෙළෙඳපොළේ සමස්‌ත ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ දැමිය හැකි බවයි. මේ අතරතුර කොටස් වෙළෙඳපොළට සම්බන්ධ විවිධ පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැති අතර මෙවන් අවස්‌ථාවකදී සාමාන්‍යයෙන් කරුණු ඉදිරිපත් කිරීම් කළ යුතුව තිබුණේ කොටස් වෙළෙඳපොළ හෝ සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් වුව ද එහිදී සිදු වූයේ ආයෝජකයෙක් විසින්ම පරිගණක තිර ඇසුරෙන් ඉදිරිපත් කිරීමක් කිරීමයි. ඒ තුළින් කොටස් වෙළෙඳපොළ සම්බන්ධයෙන් අධි නියාමනයක් පවතින බවට ඔහු අදහස් ඉදිරිපත් කර තිබිණි. මෙහිදී නොයෙකුත් වාද විවාද ඇතිව තිබූ අතර තිලක් කරුණාරත්න මහතා පවසා තිබුණේ කොටස් වෙළෙඳපොළේ අධිනියාමනයක් ඇතැයි යන්න තමන් පිළිනොගන්නා බවයි. සියලු අදහස්‌වලට සවන්දීමෙන් පසු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ඉදිරියට ගත යුතු පියවර මහා භාණ්‌ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා හමු වී සාකච්ඡා කරන ලෙසයි.
ඉන් පසු ආචාර්ය ජයසුන්දර මහතා විසින් ද කොටස් වෙළෙඳපොළට සම්බන්ධ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වා තිබිණි. මෙම සාකච්ඡාවලදී ද 'අධි නියාමනය' යන කරුණු මතුව තිබිණි. එහෙත් සුරැකුම්පත් හා විනිමය කොමිසම ප්‍රකාශ කොට තිබුණේ කොටස් වෙළෙඳපොළ ක්‍රමවත් නියාමනයකට ලක් කිරීම අත්‍යවශ්‍ය බවයි. මේ අතර පසුගිය සතියේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) විසින් ද සිය වාර්ෂික සමාලෝචනය සඳහා සුරැකුම්පත් කොමිසම කැඳවා තිබිණි. එම රැස්‌වීමෙන් පසු කෝප් සභාපති ඩීව් ගුණසේකර මහතා මාධ්‍යයට පවසා තිබුණේ කොටස් වෙළෙඳපොළ තමන්ට අවශ්‍ය පරිදි පාලනය කිරීමට උත්සාහ දරන මාෆියාවක් සිටින බවත්, ඊට එරෙහිව කටයුතු කිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිසමට සම්පූර්ණ සහාය ලබා දෙන බවයි. තත්ත්වය මෙසේ තිබියදී 13දා වන විට අපට ආරංචි වූයේ ඇති වී තිබෙන දැඩි බලපෑම් හමුවේ තිලක් කරුණාරත්න මහතා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්‌වීමට සූදානම් වන බවයි. ඔහුට ද ඉJද්‍රdණි සුගතදාස හිටපු සභාපතිනියට මෙන්ම හෘදය සාක්‍ෂියට එකඟව කටයුතු කළ නොහැකි වාතාවරණයක් දැන් නිර්මාණය වී තිබේද? එසේ නම් ඔහු හෙට අනිද්දාම ඉල්ලා අස්‌වෙයිද? අපේ කොටස් වෙළෙඳපොළේ හෙට දවස කුමක් වේද? සුළු පිරිසකගේ පාලනයට හසුව ඔවුන්ට ඕනෑ පරිදි රූකඩයක් මෙන් නැටවෙන තැනක් බවට කොළඹ කොටස් වෙළෙඳපොළ පත් වෙයිද? ඒ සම්බන්ධයෙන් මේ ගත වෙමින් පවතින්නේ තීරණාත්මක මොහොතක් බව අවසාන වශයෙන් සටහන් කළ යුතුය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2012/08/16/feature01.html