මේ අනුව, කොමිසම විසින් මේ සඳහා පුවත් පත් දැන්වීම් පළකර තිබෙන අතර එහි දැක්වෙන්නේ විමර්ශන අංශයේ වගකීම් සම්පූර්ණයෙන් දරමින් එහි කටයුතු පවත්වා ගෙන යාමට සුදුසුකම් සපුරන අයට මෙම තනතුර සඳහා අයදුම් කළ හැකි බවයි.
මෙම අයදුම්කරුගේ වයස අවුරුදු 50 කට අඩුවිය යුතු බවත් අදාළ අයදුම් පත් දෙසැම්බර් 10 වනදාට ප්‍රථම ඉදිරිපත් කරන ලෙසත් සඳහන්ය.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානීන් දෙදෙනෙකුම එල්ලවූවා යැයි කියන බලපෑම් මත සිය තනතුරු වලින් සමුගැනීම නිසා කොමිසමේ විමර්ශන කටයුතු පිළිබඳව සමාජය තුළ යම් සැකයක් මෝදු වන්නට පටන් ගැණුනි.
කොමිසම විසින් පසුගියදා කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මේ පිළිබඳව අදහස් දක්වමින් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ වැඩ බලන අධ්යක්ෂ ජනරාල්, මහාචාර්ය හරීන්ද්‍ර දිසා බණ්ඩාර පැවසුවේ කොමිසම විසින් කිසිදු විමර්ශන කටයුත්තක් කිසියම් බලපෑම් නිසා අතරමග නතර කර නොමැති බවයි.
පසුගිය කාලයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ අයුතු ලෙස කොටස් මිල ඉහළ දමමින් වංචාකාරී ලෙස යම් යම් පිරිස් මුදල් උපයාගත් බවට චෝදනා එල්ල වී තිබෙන අතර මෙවැනි තත්ත්වයන් නිසා කුඩා ආයෝජකයින් අසරණ විය හැකිබව ආර්ථික විශ්ලේෂකයින් විසින් පෙන්වා දී තිබේ.
දිසා බණ්ඩාර මහතා පැවසුවේ මෙවැනි පරීක්ෂණයකදී චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ යුතු බවයි.
කොටස් වෙළඳ පොළ කුඩා වනවිට එවැනි වෙළඳ පොළක් කුඩා කණ්ඩායමකට නැටවිය හැකි නමුත් වෙළඳ පොළ විශාල වනවිට එසේ කළ නොහැකි නිසා කොළඹ කොටස් වෙළඳ පොළද වඩාත් සංවර්ධනය කළ යුතුබව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කොමිසමේ ප්‍රධානී ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=526831725