කොළඹ කොටස් වෙළඳ පොළ විසින් ජනමාධවේදීන් වෙනුවෙන් ආරම්භ කළ තෙදින වැඩමුළුවේ පළමු දිනය වූ අද අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළඳ පොළේ නියාමන අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී, රේණුක විජේවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.
ඔහු සඳහන් කළේ ඕනෑම දෙයක් සඳහා ණය ලබාගැනීමේදී අවධානමක් තිබෙන සේ කොටස් මිලදී ගැනීමට ණය ලබාගැනීමේදීද අවධානමක් තිබෙන නිසා ආයෝජකයින් විසින් එවැනි ණය ලබාගැනීම කළ යුත්තේ මනා අවබෝධයකින් බවයි.
අදාළ ගිවිසුමකින් තොරව ආයෝජකයින්ට මෙවැනි ණය ලබාදී තිබෙන අවස්ථාවන්ද පසුගිය කාලයේදී වාර්තාවන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
නව රෙගුලාසි අනුව කොටස් තැරැව්කාර සමාගමකට සිය ශුද්ධ ප්‍රාග්ධනයෙන් තුන් ගුණයක් දක්වා කොටස් ආයෝජකයින්ට ණය ලබාදීමේ හැකියාව මේ වනවිට කොළඹ කොටස් වෙළඳ පොළ තුළ තිබේ.
ලෝකයේ බොහෝ වෙළඳ පොළවල් කොටස් මිලදී ගැනීම සඳහා මෙවැනි ණය ලබාදෙන බව රේණුක මහතා සඳහන් කළේය.
කෙසේවෙතත්, විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ තැරැව්කාර ණය මගින් කොටස් මිලදී ගැනීමේදී තැරැව්කරුවන් හා ආයෝජකයින් යන දෙපාර්ශවයම ඉහළ ප්රතිලාභ ලබන්නේ කොටස් වෙළඳ පොළ ඉහළ යනවිට බවයි.
එවිට, ආයෝජකයාගේ ආයෝජන කළඹේ වටිනාකම වැඩිවීම නිසා තව තවත් ණය ගැනීමේ හැකියාව වර්ධනය වෙමින් වැඩි වාසි අත්කර ගැනීමට හැකි වන්නේය.
නමුත්, කොටස් වෙළඳ පොළ පහළ යන අවස්ථාවල වැඩි පොලියට ලබාගන්නා මෙවැනි ණය මගින් ආයෝජකයාට ලැබෙන ප්රතිලාභ අඩුවීම හෝ පාඩු ලැබීම නිසා එවැනි ණය වලට විචක්ෂණශීලී ආයෝජකයින්ගේ පෙළඹීම අඩුය.
මේ වනවිට, බැංකු පොලී අනුපාත වලට වඩා වැඩි, පොලිය සියයට 18-20 ක් පමණ වන තැරැව්කාර ණය මගින් කොටස් මිලදී ගැනීමේදී අවධානමක් තිබෙන බව සාමාන්‍ය කොටස් ආයෝජකයින් මේ නිසා දැනගත යුතුය.
කෙටියෙන්ම කියනවා නම් පනින්නට පෙර සිතා බැලීම වැදගත්ය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=205654166