Sri Lanka Mitsubishi agent launches Mirage compact car
බදු වැඩිකිරීම නිසා වාහන අලෙවිය අඩුවී තිබෙද්දීත් මිට්ෂුබිසි රථ අලෙවියේ මෙරට ඒජන්තයින් ලෙස ක්රියා කරන යුනයිටඩ් මෝටර්ස් සමාගම එන්ජින් ධාරිතාවය ලීටර් 1.2 ක් වන මිරාජ් වර්ගයේ නවතම මෝටර් රථයක් මෙරට වාහන වෙළඳ පොළට හඳුන්වා දෙයි.
“වත්මන් බදුකරණය හා යෙන් මුදලේ ගමන් මග පිළිබඳව අපි වැඩි අපේක්ෂාවක් තබා නෑ. යෙන් මුදල තවමත් ඉතාමත් ශක්තිමත් වුවත් පසුගිය කාලයේදී ටිකක් දුර්වල වුණා. අපි බලාපොරොත්තු වෙන්නේ වසරකට මෝටර් රථ 150 ත් 175 ත් අතර ප්රමාණයක් විකුණන්නයි.“ යනුවෙන් අප සමග අදහස් දක්වමින් යුනයිටඩ් මෝටර්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, චානක යටවර මහතා පැවසීය.
පසුගිය කාලයේදී මෙරටට වාහන විශාල ලෙස පැමිණීම හමුවේ ආනයන වියදම් වැඩිවීම නිසා රජය විසින් වාහන බදු ඉහළ දැමූ අතර නවතම දත්ත මගින් අනාවරණ වූයේ මරුටි වැනි කුඩා මෝටර් රථ අලෙවිය විශාල ලෙස පහත වැටී තිබුණද බී.එම්.ඩබ්ලිව් හා මර්සිඩීස් බෙන්ස් සුපිරි රථ අලෙවිය වැඩිවී තිබෙන බවයි.
මේ අනුව, 2013 ජනවාරි මාසයේදී 2012 ජනවාරි මාසයට සාපේක්ෂව මෙරට සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. රථ ලියාපදිංචිය සියයට 281 කින් වර්ධනය වී තිබේ.
හඳුන්වා දුන් මිරාජ් රථය
මෙරට වෙළඳ පොළට යුනයිටඩ් මෝටර්ස් විසින් හඳුන්වා දුන් මිට්ෂුබිසි මිරාජ් රථය ශ්රී ලංකාවේදී අඩුම වශයෙන් ඉන්ධන ලීටරකට කිලෝ මීටර් 15 ක දුරක් ධාවනය කළ හැකි බවත් මෙහි මිල රුපියල් ලක්ෂ 35 ක් වන බවත් සමාගම කියයි. 2012 මාර්තු වලින් අවසන් වන මුදල් වසරේදී යුනයිටඩ් මෝටර්ස් සමාගම රුපියල් බිලියන 2.2 ක ලාභයක් වාර්තා කර තිබුණි.
“ අපිට මේ වසර එතරම් නරක නෑ. මොකද වසරේ මුල් අර්ධය හොඳයි. ගිය මුදල් වසර තරම්ම මේ වසර හොඳ නෑ. නමුත්, අසීරු වාතාවරණයක් තුළ වුවත් ගිය වසර මට්ටමට ළඟා වෙමින් තිබෙනවා. ඊළඟ මුදල් වසර තමයි විශාලතම අභියෝගය.“ යනුවෙන් යටවර මහතා පැවසීය.
ඡායාරූපයේ දැක්වෙන්නේ මෙරට වෙළඳ පොළට හඳුන්වා දුන් මිරාජ් රථයයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2135702896