කොටස් වෙළෙඳපොළ නියාමනයේ වෙනසක් සිදුකර තිබෙනවා
තුෂාර ජයරත්න
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ
කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය කාලයේදී විශාල පසුබෑමකට ලක්‌වූ බව අපි දනිමු. තවමත් ඒ තත්ත්වය මුළුමණින්ම යථා තත්ත්වයට පත් වී නැත. ගිය වසරේ (2011) දී කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්‌ත මිල දර්ශකය සහ මිලංකා මිල දර්ශකය පිළිවෙළින් සියයට 9 කින් සහ සියයට 26 කින් පහත වැටුණි. මෙයට කොටස් වෙළෙඳපොළට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් නොයෙක් හේතුද අසන්නට අපට ලැබුණි. මේ සම්බන්ධයෙන් නැගුණු මූලිකම චෝදනාවක් වූයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු දැඩි නියාමනයකට ලක් කිරීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූ බවය. එසේම ණය දීම් සම්බන්ධව සීමාවන් පැනවීමද මෙයට බලපාන ලද බව අසන්නට ලැබිණි. එහෙත් මේ වන විට එම නියාමන කටයුතුවල වෙනසක් සිදුව තිබේ. මේ සමඟ කොටස් වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වයට ඉදිරි කාලය තුළ කවර බලපෑමක් සිදුවේදැයි දැන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්‌ව තිබේ. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනය.
2010 වසරේ අගෝස්‌තු මස හඳුන්වාදුන් සියයට 10 ක සමාගම් කොටස් මිල උච්චාවචන නීතිය පසුගිය සතියේ දී (අප්‍රේල් 19 දින) ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් ඉවත් කරන ලදී. 2010 වසරේදී මෙම කොටස් මිල උච්චාවචන පරාස නීතිය පැනවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇතැම් සමාගම්වල කොටස් මිල ගණන් කෘතිම ආකාරයෙන් (එනම් ස්‌වාභාවික නොවන ආකාරයෙන්) ඉහළ යැමයි. විශේෂයෙන් 2010 වසරේ ජුලි මස අග සතිය වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ, ඇතැම් සමාගම්වල මිල ගණන් කිසිදු සාධාරණ හේතුවකින් තොරව ඉහළ යැමකට ලක්‌වූ බව නිරීක්‍ෂණය වූ කරුණකි. සුරැකුම්පත් කොමිසම මීට පිළියමක් ලෙස කොටස් මිල ඉහළ සහ පහළ යා හැකි උපරිම සීමාවන් නියම කරමින් මිල උච්චාවචන පරාස නියමයක් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත පනවනු ලැබ තිබිණි. කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්‌තුගත සමාගම් සුරැකුම්පත්වල මිල උච්චාවචනය සහ කොටස් ගනුදෙනු ප්‍රමාණයන් මත යෝජිත සූත්‍රයක් පදනම් කර ගනිමින් වෙළෙඳපොළ දින 5 ක් සඳහා මෙම නීතිය පනවා තිබිණි. මෙම නීතිය ඉවත් කරමින් සුරැකුම්පත් කොමිසම විසින් මාධ්‍යයට නිකුත් කර තිබූ නිවේදනයක මෙසේ ද සඳහන්ව තිබිණි.
"ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වෙළෙඳපොළ හැසිරීම පිළිබඳ නිරීක්‍ෂණයන් අඛණ්‌ඩව සිදුකරන අතර, අවශ්‍යතාවක් මතුවුවහොත් අනාගතයේදී නැවතත් මෙම මිල පරාස නීතිය පැනවීමට ඉඩ ඇත.
මෙම නියාමනයට පක්‍ෂව මෙන්ම විපක්‍ෂවද බොහෝ අදහස් පළ විය. ඇතැම් අය මේ නියමය කොටස් වෙළෙඳපොළේ පසුබෑමට ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් කළත්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉහළම සමස්‌ත මිල දර්ශක අගය වාර්තා වූයේ මෙම මිල පරාස නීතිය පැනවීමෙන් මාස 6 කට පමණ පසු ගිය වසරේ (2011) පෙබරවාරි මාසයේදී වීමද සැලකිය යුතු කරුණකි. කවරක් නමුත් මෙම නියමය පැනවීමෙන් පසු කෙටිකාලීනව කොටස් වෙළෙඳපොළේ පසුබෑමක් ඇති වූ බව සත්‍යයකි. කොටස් වෙළෙඳපොළ ගැන එතරම් දැනුමක් නොමැති සුළු පරිමාණ අයෝජකයන්ට කොටස් වෙළෙඳපොළේ, කොටස් මිල ගණන් කෘතිම ලෙස ඉහළ යැම නිසා සිදුවන අවදානම් තත්ත්වයන්ගෙන් ඔවුන්ව ආරක්‍ෂා කර ගැනීමේ අරමුණෙන් මෙම නියමය හඳුන්වාදෙන ලද බව බලධාරින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ කතාවයි.
අනික් අතට කෘතිම ලෙස කොටස් වෙළෙඳපොළ මිල ගණන් ඉහළ යැම නිසා කොටස් වෙළෙඳපොළ යම් අවස්‌ථාවකින් පසු දැඩි පසුබෑමට ලක්‌වීමේ අවදානමක්‌ද පවතී. පසුගිය කාලයේදී බංගලාදේශයේ ඩකා කොටස් වෙළෙඳපොළේද මෙසේ කොටස් මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් පසුව එම කොටස් වෙළෙඳපොළ සැලකියයුතු පසුබෑමකට ලක්‌වීම මෙයට හොඳ උදාහරණයකි.
මේ අතරම සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් කොටස් තැරැව්කාර ආයතනවල ණය දීම් පාලනය කිරීම ද තවත් විවේචනයට බඳුන් වූ ප්‍රධානතම කරුණකි. මෙයටද පක්‍ෂව හා විපක්‍ෂව අදහස් පළ විය. විශාල වශයෙන් ණයට කොටස් මිලදී ගැනීම නිසා කොටස් වෙළෙඳපොළ තුළ ණය බුබුලක් ඇති වීමේ අවදානමක්‌ද තිබේ. සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් ණය දීම පාලනය කිරීමට පියවර ගත්තේ ද මේ අවදානමටද පිළියමක් ලෙසය. විශේෂයෙන් 2010 වසරේ මැද වන විට කොටස් තැරැව්කාර ආයතන විසින් තම සේවා දායකයන්ට ලබාදී තිබූ ණය ප්‍රමාණය රු. බිලියන 6 ද ඉක්‌මවා තිබිණි. මෙය කොටස් වෙළෙඳපොළ විශාල අවදානමකට ලක් කිරීමක් ද බවට ද අදහස් පළ විණි. නමුත් ඇතැම් කොටස් තැරැව්කාර ආයතන මෙන්ම කොටස් ආයෝජකයන්ද මෙයට ප්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කරන ලදී. එසේවුවත් ඇත්ත කතාව නම් ලෝකයේ ඕනෑම කොටස් වෙළෙඳපොළක ණය ප්‍රමාණය කිසියම් සීමා කිරීමකට ලක් කරන බවයි. එසේ නොකළොත් ණය විශාල වශයෙන් ලබා දීමෙන් නිර්මාණය වන ණය බුබල, අවසානයේදී පුපුරා යැමෙන් ඇති වන අහිතකර තත්ත්වයේ ප්‍රතිවිපාක ඊට වඩා දරුණු වන්නට පුළුවන. කවරක් නමුත් මේ වසරේ (2012) ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් මෙම ණය දීමේ සීමාවන්ද ලිහිල් කරනු ලැබීය. මේ අනුව මිල උච්චාවච පරාස නීතිය ඉවත් කිරීම නිසා සහ ණය දීමේ සීමාවන් ලිහිල් කිරීම නිසා, එනම් නියාමන කටයුතූ ලිහිල් කිරීම නිසා කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයට කවර බලපෑමක් ඇතිවනු ඇත්දැයි යන්න අපට ඉදිරි කාලය තුළ දැකබලා ගත හැකිය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2012/04/29/economic07.html