හෙජිං ගිවිසුමට අදාළ මුදල් ලබාගැනීම සඳහා විදේශීය බැංකු කිහිපයක් කටයුතු කරගෙන ගියත් රජය මෙම නඩු තීන්දු හා බේරුම්කරණ ක්‍රියාවලීන්ගෙන් ජයගනු ඇතැයි විශ්වාසයක් තිබෙන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියයි.
අද කොළඹදී පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවේදී අපි විසින් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඔහු පැවසුවේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවට හෙජිං ගිවිසුමට අදාළ මුදල් ලෙස ඩොලර් මිලියන 162 ක් හා පොලිය ගෙවන ලෙස ලන්ඩන් අධිකරණයක් මගින් ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට රජය සූදානම් වන බවයි.
යම් හෙයකින් මෙම මුදල් අදාළ බැංකු වලට ගෙවීමට සිදුවුවහොත් මෙවැනි විශාල මුදලක් ගෙවීමට රජය කටයුතු කරන්නේ කෙසේදැයි අදහසක් තිබෙනවාදැයි අප නැගූ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍ය රඹුක්වැල්ල පැවසුවේ මෙම නීතිමය ක්‍රියා මාර්ග වලින් රජයට ජයගත හැකියැයි විශ්වාස කරන නිසා එවැනි ගෙවීම් පිළිබඳ සැලසුම් අවශ්‍ය නොවන බවයි.
පසුගිය සමයේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල විශාල ලෙස වැඩිවන විට අවධානම් පාලනය කිරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව හෙජිං ගිවිසුමකට ඇතුළත් වූ අතර ඒ තුළින් බලාපොරොත්තු වූයේ ඛනිජ තෙල් මිල වැඩි වුවත් ගිවිසගත් මිලකට තෙල් මිලදී ගැනීමටයි.
කෙසේවෙතත්, පසුව ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල විශාල ලෙස ගිවිස ගත් මිලට වඩා අඩුවීම නිසා මෙම ගිවිසුමින් තෙල් සංස්ථාව දැවැන්ත අලාභ සිදුවන විට එයට අදාළ ගෙවීම් කිරීම සංස්ථාව විසින් පැහැර හැරියේය.
කෙසේවෙතත්, ගිවිසුමට අදාළව තමන්ට අයවිය යුතු මුදල් ලබාගැනීමට පාර්ශවකාර ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ලන්ඩනයේ නඩු පැවරූ අතර එම අධිකරණය විසින් පසුගියදා තීන්දු කළේ ඩොලර් මිලියන 162 ක් එයට අදාළ පොලිය බැංකුව වෙත තෙල් සංස්ථාව විසින් ගෙවිය යුතු බවටයි.
මෙම මුදල් ඩොලරයක හුවමාරු වටිනාකම රුපියල් 130 ක් ලෙස සලකන්නේ නම් දළ වශයෙන් රුපියල් බිලියන 21 කි. එයට පොලිය එකතු වූ විට මෙම මුදල තවත් විශාල ලෙස වැඩිවේ.
මීට අමතරව, මෙම ගිවිසුමට ඇතුළත් වූ “සිටි“ බැංකුව පසුගිය කාලයේදී සිංගප්පූරුවේ බේරුම්කරණ ක්‍රියා මාර්ගයක් ගත් අතර එහීදී මෙරටට පක්ෂපාතී තීන්දුවක් ලබාදුන්නත් තවමත් එය නොවිසඳුණු ප්‍රශ්නයක් ලෙස ඇත.
සිටි බැංකුව විසින් ඉල්ලා සිටින්නේ ඩොලර් මිලියන 200 ක් හා පොලියයි. එය දළ වශයෙන් රුපියල් බිලියන 26 කට වඩා වැඩිවේ.
මීට අමතරව, මෙම ගිවිසුමේ පාර්ශවකාර ඩොයිෂ් බැංකුව වොෂින්ටනයේ බේරුම්කරණ ක්‍රියා මාර්ගයකට යෑමට සූදානමින් සිටී. එම බැංකුව ඉල්ලන මුදල ඩොලර් මිලියන 60 කි. එය රුපියල් බිලියන 7.8 කට වැඩිය.
යම් හෙයකින් මෙම මුදල් ගෙවන්නට සිදුවුවහොත් එහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 54 කට වැඩිය.
සාමාන්‍යයෙන් ලංකාවේ සමෘද්ධි සහනාධාරය ලබාදීමට වැය කරන්නේ රුපියල් බිලියන 09 ක පමණ මුදලක් වන අතර පොහොර සහනාධාරය ලබාදීමට වැය කරන්නේ රුපියල් බිලියන 29 ක් වැනි මුදලකි.
එලෙස බැලූ විට හෙජිං වෙනුවෙන් ගෙවීමට අවධානමක් තිබෙන මුදල් සම්භාරය පිළිබඳව යම් අදහසක් ලබාගත හැකිය.
කෙසේවෙතත්, අමාත්‍ය රඹුක්වැල්ල පවසන්නේ රජයට මෙම මුදල් ගෙවීමට සිදු නොවනු ඇති බවත් හෙජිං වලින් ආණ්ඩුව ගොඩයන බව ස්ථීර බවයි.
අමාත්‍යවරයාගේ විශ්වාසය ඉටු වුවහොත් එය ජනතාවගේ පිට පැටවෙන තවත් කරුමයකින් ගැලවීමක් නිසා සතුටු විය යුතුය.
ජයන්ත කෝවිලගොඩගේ
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1706641008