ශ්‍රී ලංකා කොටස් වෙළඳපොලේ 'මාෆියාවක්'
අවසාන යාවත්කාලීන කිරීම : 2012 අගෝස්තු 14 අඟහරුවාදා - 16:50 GMT
බීබීසී සිංහල
Colombo stock market
'කූට ආයෝජක මාෆියාව සහ ඔවුන් ගේ තැරැවුකරුවන්' පිළිබඳව වැඩිදුර විස්තර හෙළිකළ නොහැකි බවයි තිලක් කරුණාරත්න පවසන්නේ
"මාෆියා කණ්ඩායමක්" ශ්‍රී ලංකා කොටස් වෙළඳපොලේ කොටස් ජාවාරමක යෙදී සිටින බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය නියාමන කොමිසම් සභාවේ සභාපතිවරයා පවසයි.
මේ තත්ත්වය යටතේ තවදුරටත් තම පදවිය දැරීම අපහසු බැවින් ඉතා ඉක්මනින්ම පදවියෙන් ඉල්ලා අස්වන බව කොමිසමේ සභාපති තිලක් කරුණාරත්න බීබීසී සංදේශය ට පැවසීය.
"මේ මාෆියාව විසින් ඉතාම නින්දිත සහ තුච්ච විදියට කොටස් වෙළඳපොලේ සිදුවන මිලදී ගැනීම් වල සිදුවන අසාධාරණයන් සහ අයථාකම් පිළිබඳව සහ ඔවුන්ට උදවු කරන ස්වල්ප දෙනෙක් වන තැරැවුකාරයන් පිළිබඳව අපි නියාමන සභාවක් හැටියට අපිට අනිවාර්යයෙන්ම කටයුතු කරන්න වෙනවා. ඒ කටයුතු කරන්න ආරම්භ කරපු ගමන්ම ඔවුන් මේවා වැලැක්වීමට දැඩි පීඩනයක් එල්ල කරන," බව තිලක් කරුණාරත්න ප්‍රකාශ කරයි.
මේ තත්ත්වය යටතේ තම ස්වාධීනත්වය රැකගෙන තවදුරටත් කටයුතු කිරීම දුෂ්කර බවයි, ඔහු පවසන්නේ.
කොළඹ කොටස් වෙළඳපොලේ "කූට ආයෝජක මාෆියාව සහ ඔවුන් ගේ තැරැවුකරුවන්" පිළිබඳව මේ අවස්ථාවේ වැඩිදුර විස්තර හෙළිකළ නොහැකි බවයි, ඔහු පවසන්නේ.
මේ අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ට කිසිදු පියවරක් ගත නොහැකි දැයි විමසූ විට නියාමන කොමිසමේ සභාපතිවරයා පවසන්නේ ඒ පිළිබඳව තීරණය කළ යුත්තේ ජනාධිපතිවරයා බවයි.