සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය ආසන්නයේ සෙලින්කෝ සමාගම විසින් ඉදිකරමින් තිබී අතරමග නතරවූ සෙලෙස්ටියල් රෙසිඩන්සීස් නම් දැවැන්ත ගොඩනැගිල්ලේ වැඩ කටයුතු නව සමාගමක් විසින් නැවත ආරම්භ කර තිබෙන අතර එහි Hyatt වෙළඳ නාමය යටතේ සුපිරි හෝටලයක් ස්ථාපිත කිරීමට සූදානම් වේ.
තට්ටු 45 කින් යුක්තව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන මෙම ගොඩනැගිල්ල ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හා තවත් නම සඳහන් කර නොමැති ආයෝජකයින්ගේ කොටස් වලින් සැදුම් ලත් Sinolanka Hotels & Spa (Pvt) Ltd යන සමාගම විසින් අත්පත් කරගෙන ඉදිකරන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය කියයි.
2008 වසරේදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සෙලින්කෝ සමූහය විසින් ආරම්භ කළ අතර පසුව ඇතිවූ ගෝල්ඩන් කී අර්බුදයත් සමග එහි ඉදිකිරීම් කටයුතු නැවතුණි.
පසුගිය වසරේදී රජය පවරා ගත් ව්‍යාපාර අතරට මෙම ගොඩනැගිල්ලද අයත් විය.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසා තිබෙන්නේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට යන සමාගමට අදාළ ඉඩම 99 අවුරුදු බද්දට ලබාදී තිබෙන බවත් උපාය මාර්ගික ආයෝජන නීතිය යටතේ බදු සහනද පිරිනමා ඇති බවයි.
මෙම ගොඩනැගිල්ලේ කාමර 565 කින් සමන්විත තරු පහ පන්තියේ හෝටලයක් Hyatt Regency වෙළඳ නාමය යටතේ Hyatt ජාත්‍යන්තර සමාගම පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙන අතර එහි වර්ග අඩි ප්‍රමාණය 94,000 කි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=897748672