සුපිරි නිවාස, සාප්පු සංකීර්ණ, තරු හතේ හෝටලයක් ඇතුළු ඉදිකිරීම් වලින් සමන්විත තට්ටු 85 ක කුළුණකින් හා තවත් කුළුණු හතරකින් සමන්විත කොළඹ “Krrish Square“ ව්‍යාපෘතියේ වර්ග අඩියක් ශ්‍රී ලංකා රුපියල් 30,000-40,000 අතර මිලකට අලෙවි කිරීමට යනබව අනාවරණය වේ.
කොළඹ චැතම් වීදිය, යෝර්ක් වීදිය, ලෝටස් පාරට මායිම් වන දැනට පැරණි ට්‍රාන්ස්වර්ක් ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ එම ගොඩනැගිල්ලද ඇතුළත්ව අක්කර 04 කුත් පර්චස් 37.10 ක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය ඉන්දියානු ක්‍රිෂ් සමාගම් සමූහයට ලබාදී තිබෙන්නේ 99 අවුරුදු බදු පදනම අනුව රුපියල් මිලියන 4995 ක මුදලකටයි.
මෙම භූමියේ කුළුණු හතරක් හා තවත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සමාගම වැය කිරීමට සැලසුම් කර තිබෙන මුදල ඩොලර් මිලියන 460 කි.
ව්‍යාපෘතිය ඇරඹෙයි
මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බව සමාගමේ ඉන්දියානු නියෝජිතයින් ඊයේ නිළ වශයෙන් දැනුම් දුන් අතර මූලික වශයෙන් කුළුණු හතරක් ගොඩ නැගීමට සැලසුම් කර ඇත.
මෙම කුළුණු හතර දරා සිටින්නේ තට්ටු 10 කින් යුක්ත වේදිකා කොටසකින් වන අතර එහි වාහන අංගන, සුපිරි වෙළඳ සැල් ඇතුළු පහසුකම් පිහිටුවීමට සැලසුම් කර තිබේ.
සුපිරි නිවාස ගොඩනගන එක් කුළුණක් වේදිකා කොටස සමග තට්ටු 80 කින්ද, තවත් කුළුණු දෙකක් වේදිකා කොටස සමග තට්ටු 55 කින්ද, තරු හත පන්තියේ හෝටලයක්, කාර්යාල පහසුකම් පිහිටුවන කුළුණ වේදිකා කොටස සමග තට්ටු 85 කින් යුක්ත බව මධ්‍යසාර හා දේපොළ වෙළඳාමේ නිරත 1983 වසරේදී ආරම්භ කළ ඉන්දියානු ක්‍රිෂ් සමාගම් සමූහය සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය යටතේ වර්ග අඩි මිලියන 05 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර පැරණි ට්‍රාන්ස්වර්ක් ගොඩනැගිල්ල කඩා ඉවත් නොකර නවීන පහසුකම් වලින් යුක්ත හෝටලයක් බවට පත් කිරීම සැලසුමයි.
මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකරන සුපිරි නිවාස විකිණීම ආරම්භ කර තිබෙන බවත් ධනවතුන් සිය ඉලක්ක ගත පාරිභෝගික කණ්ඩායම බවත් ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ක්‍රිෂ් සමාගම් සමූහයේ ප්‍රධාන විධායක ආර්.පී. ගුප්තා සඳහන් කළේය.
ඉඩමේ බදු වලින් සියයට 10 ක් ගෙවයි
ගිවිසගෙන තිබෙන 99 අවුරුදු බදු කුලියෙන් සියයට 10 ක් මේ වනවිට සමාගම විසින් නාගරික සංවර්ධන අධිකාරියට ගෙවා ඇතැයි එහි සභාපති නිමල් පෙරේරා සඳහන් කළ අතර ගිවිසුම් ප්‍රකාරව ඉතිරි මුදල් ගෙවීමට එකඟ වී ඇතැයි කීය.
සාමාන්‍යයෙන් දිගු කාලීන බදු ලබා දෙන්නේ අවුරුදු 30 හා 55 බදු පදනම මත වුවත් සමාගම පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරිය විසින් කළ අධ්‍යනයේදී දුටු සමාගමේ ශක්තිය නිසා වසර 99 කට අදාළ ඉඩම බදු දුන් නිමල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ක්‍රිෂ්, පළමු විදේශීය ව්‍යාපෘතිය
වාර්ෂික පිරිවැටුම ඩොලර් මිලියන 100 ක් පමණ වන සිය සමාගම් සමූහය විසින් ඉන්දියාවෙන් පිටතදී සිදුකරන පළමු දේපොළ සංවර්ධන ව්‍යාපෘතිය මෙය බව ක්‍රිෂ් සමාගම් සමූහයේ ප්‍රධාන විධායකවරයා පැවසීය.
දැනට සමාගම් සමූහය විසින් සිදුකරමින් තිබෙන දේපොළ සංවර්ධන කටයුතු වලින් සමාගමට ඉදිරි වසර 05 තුළදී අයවිය යුතු මුදල ඩොලර් බිලියන 1.4 ක් පමණ වනබව සඳහන්ය.
කොළඹ කුළුණුවල නිර්මාණශීලීත්වය
සමාගම විසින් කොළඹ ගොඩනැගීමට සැලසුම් කර තිබෙන කුළුණු හතරේ ඉදිකිරීම් සිදුකිරීමට පැවරී තිබෙන්නේ ඉන්දියාවේ C.P. Kukreja Associates ගෘහ නිර්මාණ සමාගමටයි.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා පැවසුවේ ලංකාවේ ඓතිහාසික ලෙස තිබෙන උරුමයද මෙම නිර්මාණයෙන් විදහා දැක්වීමට තමන් අදහස් කරන බවයි.
මීට අමතරව, ජලය, වාතය, ආලෝකය හා වලාකුළු එක්තැන් කරමින් 21 වන සියවසට ගැලපෙන අති නවීන විස්මිත නිර්මාණයක් කිරීමට තම කණ්ඩායම සැදි පැහැදී සිටින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ පැරණි ට්‍රාන්ස්වර්ක් ගොඩනැගිල්ල නවීන හෝටලයක් බවට පත් කිරීම පැවරී තිබෙන්නේ ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන EDOUARD FRANCOIS හටයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1676584149