ඊයේ සවස් වරුවේ අගවිනිසුරු නිල කාමරයේ රැස් වූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගෙන් ලැබුණු මත විමසීම පිළිබඳව මූලික සාකච්ඡාවක් පවත්වා ඇත. එම අවස්‌ථාවට නීතිපති ඇතුළු එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු කීපදෙනෙක් ද සහභාගි වී ඇත. එහිදී නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් වූ බව ද දැන ගන්නට ඇත. අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු දසදෙනෙක් ඊට සහභාගි වූහ.
කේ. ශ්‍රී පවන්, ඊවා වනසුන්දර, ප්‍රියසාද් ඩෙප්, රෝහිණී මාරසිංහ, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, සරත් ද ආබෲ, ප්‍රියන්ත දසනායක යන අයගෙන් විනිසුරු මඩුල්ල සමන්විතය.
මෙම රැස්‌වීමට සහභාගි නොවූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්ෂුප් මහතා පමණි. ඊට හේතුව ඔහු මේ දිනවල විදේශගතව සිටීමයි.
පැය කිහිපයක් කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව ජනාධිපති යොමු කළ එකී ප්‍රශ්න සම්බන්ධයෙන් කැමැති කෙනෙකුට අදහස් ඉදිරිපත් කිරීමට අවස්‌ථාව සලස්‌වා දීමට ද විනිසුරු මඬුල්ල තීරණය කර ඇත. ඒ අනුව ලබන සිකුරාදා සවස 3 ට පෙර එම අදහස් ලිතව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්‌ටාර්වරියට බාර දිය යුතු යෑයි නිවේදනයක් මගින් දැනුම් දීමට තීරණය කර ඇත.
විශේෂයෙන් නීතිඥවරුන්ට අදහස් දැක්‌වීම සඳහා සිය සාමාජිකයන්ට දැනුම් දෙන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දන්වා තිබිණි. ජනාධිපතිවරයා එකී මත විමසීම කර තිබුණේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 129 වැනි වගන්තිය යටතේය.
ඒ පිළිබඳව විභාගය විවෘත අධිකරණයක් හමුවේ රහසිගතව පැවැත්වීමට ද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ප්‍රතිපාදන සලස්‌වා ඇති බව මේ පිළිබඳ අදහස් දක්‌වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් 'දිවයින'ට පැවසීය.
දිවයින