මෙහිදී බදුගෙවීමෙන් පසු ලාභ අගය රුපියල් මිලියන 651 ක් වශයෙන් වාර්තා වන අතර එය පසුගිය වසරේ පළමු කාර්තුව තුළ වාර්තා වූ රුපියල් මිලියන 514 හා සැසඳීමේදී සියයට27 ක වර්ධනයකි.
එසේම 2015 මාර්තු 31න් අවසන් මාස 03 ක කාලය තුළදී බැංකුවේ ශුද්ධ පොළී ආදායම රුපියල් බිලියන 2.80 දක්‌වා සියයට 20කින් වර්ධනය වී තිබේ. තවද මෙම කාලපරිච්ඡේදය තුළදී බැංකුවේ ශුද්ධ ගාස්‌තු හා කොමිස් ආදායම සියයට 9කින් ඉහළ නැග තිබෙනුයේ රුපියල් මිලියන 515 සිට රුපියල් මිලියන 562 දක්‌වා වර්ධනයක් සනිටුහන් කරමිනි. මෙය පසුගිය වසර ගණනාවක් පුරාවට බැංකුව විසින් අඛණ්‌ඩ පවත්වා ගෙන ආ සිය කාර්යසාධනයේ ප්‍රතිඵලයක් ලෙසින් හැඳින්විය හැකිය.
තවද බැංකුව විසින් ක්‍රියාවට නංවන ලද සිව්වසරක (2012-2016) මූලෝපායික සැලසුමට අනුව ණය අත්තිකාරම් වර්ධනය, ශාඛා ජාල ව්‍යාප්තිය, පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම්, තොරතුරු තාක්‍ෂණ යටිතල පහසුකම් ඉහළ නැංවීම්, අක්‍රීය ණය ලියා හැරීම, නව සේවා හඳුන්වාදීම, කොටස් හිමියන්ගේ අගය වැඩිකිරීම යනාදී කටයුතු මෙන්ම සෙලාන් බැංකුව විසින් පසුගිය කාලය තුළ දියත් කරනු ලැබූ ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන දිවයින පුරා පිහිටි අඩු පහසුකම් සහිත පාසල් 100 ක් සඳහා පුස්‌තකාල 100 ක් ස්‌ථාපිත කිරීමේ වැඩපිළිවෙළ මෙම කාලය තුළදීද අඛණ්‌ඩව සිදු කරගෙන යන ලදී. 2013 වසරේ සිට අඩු පහසුකම් සහිත පාසල් සඳහා මේ දක්‌වා පුස්‌තකාල 57 ක් විවෘත කර තිබේ.
2015 පළමු කාර්තුව තුළදී බැංකුවේ ශුද්ධ අත්තිකාරම් වටිනාකම රුපියල් බිලියන 154.9 සිට රුපියල් බිලියන 155.2 දක්‌වා වර්ධනය වී තිබෙන අතර අදාළ කාලපරිච්ඡේදය තුළදී තැන්පතු පදනම රුපියල් බිලියන 185.9 සිට රුපියල් බිලියන 185.0 දක්‌වා ඉතා සුළු අගයකින් පහළ ගොස් තිබේ.
2015 මාර්තු 31 වන විට බැංකුවේ ශාඛා ජාලය, ශාඛා 157 කින් සමන්විත වන අතර ස්‌වයංක්‍රීය ටෙලර් (ATM යන්ත්‍ර 178 ක් හා ශිෂ්‍ය ඉතුරුම් මධ්‍යස්‌ථාන 93 ක්‌ද ඊට ඇතුළත් වේ. 2015 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව අවසානයේදී බැංකුවේ මුළු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතිකය සියයට 13.94ක් වන අතර මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති මට්‌ටමට වඩා ඉහළ අගයකි.
බැංකුව විසින් වාර්තා කරන ලද මෙම සුවිශේෂී කාර්යසාධනයත් සමගම 2015 පළමු කාර්තුවේදී බැංකුවේ කොටසක ඉපැයුම රුපියල් 1.89 ක් වශයෙන් වාර්තා වේ. තවද වත්කම් මත ප්‍රතිලාභ (බදු ගෙවීමට පෙර) හා හිමිකම් මත ප්‍රතිලාභ පිළිවෙළින් සියයට 1.55 ක් හා සියයට 11.03 ක් වශයෙන් වේ. 2015 මාර්තු 31 වැනිදා වන විට බැංකුවේ කොටසක් සඳහා වන ශුද්ධ වත්කම් අගය රුපියල් 67.33 කි. (සමූහයේ මෙම අගය රුපියල් 70.81 ලෙසින් වාර්තා වේ).
Courtesy: Diwaina 20 May 2015