අසාමාන්‍ය ලෙස කොටස් මිල ඉහළ ගිය සමාගම් වෙනුවෙන් මිල සීමාවක් පැනවීම නිසා කොළඹ කොටස් වෙළඳ පොළ ආයෝජක විශ්වාසය තහවුරු වූ බව සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව කියයි.
වාර්ෂික වාර්තාවෙන් කොමිසමේ සභාපතිනිය වන, ඉන්ද්‍රාණි සුගතදාස මේ බව පවසා තිබෙන අතර අසාමාන්‍ය ලෙස කොටස් මිල ඉහළ ගිය සමාගම්වල කොටස් ඉහළ යාම හෝ පහළ යාම නිශ්චිත කාල සීමාවකදී සිදුවිය හැක්කේ සියයට 10 ක් පමණකැයි දක්වමින් අදාළ මිල සීමාව පනවා තිබුණි.
වෙළඳ පොළ නිර්ණායකයන්ට අනුකූල නොවන පරිද්දෙන් සමහර සමාගම්වල කොටස් මිල පසුගිය කාලයේදී ඉහළ ගිය අවස්ථාවල මෙම මිල සීමාව පැනවීමට කටයුතු කළේය.
මෙවැනි වෙළඳ පොළ නියාමනයක් තුළින් කොටස් කරුවන්ගේ ආරක්ෂාව තහවුරු නොකරන්නේ නම් කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වනු ඇත්තේ සුළු පිරිසක් පමණක් වනු ඇතිබව මෙහිදී සුගතදාස මහත්මිය පවසා තිබේ.
මේ අනුව, සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ වගකීම් වලින් එකක් වන්නේ ආයෝජක විශ්වාසය තහවුරු කරමින් වැඩි පිරිසක් ආයෝජක කාණ්ඩයට එක්කිරීම යැයි විශ්වාස කරන බවද සඳහන්ය.
මේ පිළිබඳව අදහස් දක්වමින් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මලික් කාදර් පවසා තිබෙන්නේ කිසිදු වෙළඳ පොළ සිද්ධාන්තයකට අනුකූල නොවන පරිද්දෙන් සමහර සමාගම් වල කොටස් කටකතා මත පදනම්ව විශාල ලෙස ඉහළ යෑම හමුවේ අදාළ මිල සීමාව පැනවීමට කටයුතු කළ බවයි.
මෙම මිල සීමාව පැනවූ විගසම කොටස් වෙළඳ පොළ යම් පසුබෑමකට ලක්වුවත් ඉතාමත් වේගයෙන් එය යථාතත්ත්වයට පත්වූ බව හෙතෙම සඳහන් කර ඇත.
http://www.vimasuma.com