මහ බැංකුව යටතේ පාලනය වන සේවක අර්ථ සාධක අරමුදල විසින් මහ බැංකුව විසින් නියාමනය කරන බැංකුවල කොටස් මිලදී ගැනීමේදී නියාමන ගැටුමක් මතුව ඇතැයි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ණය වර්ගීකරණ ආයතනය කර තිබෙන චෝදනාවද මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එයට අදාළව කරුණු දක්වමින් මහ බැංකුව පවසා තිබෙන්නේ බැංකුවේ වෙනමම අංශ වෙනුවෙන් කටයුතු කරන දෙපාර්තමේන්තු අදාළ කටයුතු ඉතා රහසිගතව හා වෘත්තීය මට්ටමින් සිදුකරන බවයි.
මේ අනුව, මහ බැංකුව තුළ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව ස්වාධීනව පාලනය වනබව මහ බැංකුව අවධාරණය කර ඇත.
සේවක අර්ථ සාධක අරමුදලේ කීර්ති නාමයට හානි කිරීම සඳහා එල්ල කර තිබෙන චෝදනාවන් පදනම් කර ගනිමින් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් සිය කරුණු දැක්වීම කර ඇතැයි පෙනෙන්නට තිබෙන බව අරමුදල වැඩිදුරටත් පවසා තිබේ.
සේවක අර්ථ සාධක අරමුදල විසින් බැංකුවල කොටස් මිලදී ගැනීම පිළිබඳ දැඩිව විවේචනය කළ පුද්ගලයින් අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිටින අතර ඔහු අවධාරණය කර තිබෙන්නේ මෙය මහ බැංකුව විසින්ම නියාමනය කරන බැංකුවල අභ්‍යන්තර තොරතුරු දැනගෙන සිදුකරන insider dealing නැමති සුරැකුම් වංචා ගණයට වැටෙන වරදක් බවයි.
මීට අමතරව, සේවක අර්ථ සාධක අරමුදල හා සම්බන්ධ අනිකුත් ගැටුම්ද විශ්ලේෂකයින් විසින් ඉදිරිපත් කර තිබේ.
සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට වැඩි පොලී ආදායමක් උපයා දීමට අරමුදල අරමුණු කරන විට මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අඩු පොලියට රජයට ණය සම්පාදනය කිරීමට අරමුණු කිරීම මෙවැනි ගැටුමකි.
කෙසේවෙතත්, අවසානයේදී ප්‍රායෝගිකව සිදු වන්නේ අරමුදලේ ප්‍රතිලාභීන්ගේ අරමුණ ඉටු නොවූවත් රජයේ අරමුණ ඉටුවීම යැයි ඔවුහු චෝදනා කරති.
http://www.vimasuma.com/