මේ වසරේ මුල් මාස හය තුළදී මෙරට සිගරට් උරන්නන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 31.2 ක බදු මුදල් ගෙවා තිබෙන බව හෙළිවේ.
මේ බව බ්‍රිටිෂ් ඇමරිකන් ටුබැකෝ හෝල්ඩින්ග් සමාගමට අනුබද්ධ Ceylon Tobacco Company PLC සමාගම විසින් අනාවරණය කර තිබෙන අතර සමාගම විසින් පවසා තිබෙන්නේ ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 08 කට වැඩි ප්‍රමාණයක් බදු වශයෙන් මේ වසරේ පළමු අර්ධයේදී රජයට ගෙවූ බවයි.
මෙරට සිගරැට් ඉරීම ක්‍රමයෙන් අඩු වෙමින් යන අතර සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මේ වසරේ මුල් මාස හය තුළදී සිගරැට් අලෙවිය සියයට 02 කින් පමණ අඩුවී තිබෙන බවයි.
ජුනි දක්වා මාස තුනක කාලයකදී සිලෝන් ටුබැකෝ සමාගම විසින් රුපියල් බිලියන 20.8 ක දළ ආදායමක් උපයාගෙන තිබෙන අතර ගිය වසරේ අදාළ කාලයේදී උපයාගෙන තිබුණේ රුපියල් බිලියන 19.1 ක ආදායමකි.
එම කාර්තුවේදී සමාගම විසින් රජයට බදු වශයෙන් රුපියල් බිලියන 13.5 ක් ගෙවා තිබෙන අතර 2011 ජුනි කාර්තුවේදී ගෙවා තිබුණේ රුපියල් බිලියන 12.6 ක බදු මුදලකි.
මේ අනුව, සමාගමේ ලාභය 2012 ජුනි කාර්තුවේදී රුපියල් බිලියන 2.4 ක් දක්වා වර්ධනය වී තිබෙන්නේ ගිය වසරේ අදාළ කාලයේදී රුපියල් බිලියන 1.8 ක මට්ටමක සිටයි.
මේ වසරේ මුල් මාස හය තුළදී සමාගම ලබා තිබෙන ලාභය රුපියල් බිලියන 3.9 කි. ගිය වසරේ මුල් මාස හයේදී ලබා තිබුණේ රුපියල් බිලියන 2.6 ක ලාභයකි.
මේ වසරේ මුල් අර්ධයේ සමාගමේ ලාභය වැඩිවීමට රුපියල අවප්‍රමාණය වීම ප්‍රධාන හේතුවක්ව තිබෙන්නේ අදාළ කාලයේදී සමාගමේ ඩොලර් සංචිතවල ප්‍රගතියක් පෙන්වීම නිසයි.
CTC සමාගමේ කොටස් වලින් සියයට 84.13 ක් අයත් වන්නේ බ්‍රිටිෂ් ඇමරිකන් ටුබැකෝ සමාගමටයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=610413000